31 July, 2017

කවුද කියන්නෙ මම මල් සින්දු කියනවා කියලා....

Romesh Sugathapala

රොමේෂ් “මන්දාකිණි” ත් එක්ක වුණු වෙනස මොකද්ද?

මගේ මියුසික්වල වෙනසක් කරන්න ඕනෑ කියලා හිතපු නිසා මම ටික කාලයක් නිශ්ශබ්දව හිටියා. මේ දවස්වල සංගීතයේ ඒකාකාරී හඬක් ඇහෙන නිසා ටිකක් නිහඬව ඉන්න හිතුණා. ඒකත් එක්ක තමයි මම “මන්දාකිණි” එක්ක ටිකක් වෙනස් වුණේ.

“මන්දාකිණි” වෙනස වුණේ කොහොමද?

2017-07-27-ent-44ඒක ක්ලැසිකල් මියුසික්, ඩබ් ස්ටෙප් වගේ සංගීත රටා එකතුවෙලා නිර්මාණ වුණු ගීතයක්. දැන් යන විරහ ගීත රටාවේ යන ගීතයක් නෙවෙයි මේක. ඒ නිසා මන්දාකිණි මගේ ආදරණීය රසික රසිකාවියන්ට වෙනසක් වේවි.

මේ වීඩියෝ එක ටිකක් වෙනස් නේද?

ඔව්... මෑත කාලයේදී වීඩියෝවලට ගත්තේ අපේ රටේ නළු නිළියන්වනේ. මේක ටිකක් වෙනස්. මේ වීඩියෝ එකෙන් අලුත් මුහුණු දෙකක් අපි හඳුන්වලා දෙනවා. මේ කතාව අනුව ඔහු ව්‍යායාම් උපදේශකවරයෙක්. ගැහැනු ළමයා ශ්‍රී ලංකා එයාර් ලයින් එකේ සේවය කරන්නේ. මේ වීඩියෝ එකේ තේමාවත් ටිකක් වෙනස්.

පහුගිය කාලවලදී බොහෝ වීඩියෝවල ප්‍රදර්ශනය වුණේ නිරුවත අඩනිරුවත එක්ක. රොමේෂ් කියන්නෙත් මේ රාමුවෙම කෙනෙක්ද?

නෑ... මේකෙ නිරුවත පෙන්නන්නේ නෑ. එහෙම නිරුවත පෙන්නුවොත් මම මෙතෙක් ගොඩනගාගත්තු මගේ ප්‍රතිරූපයට හානි වෙනවා. අනික නිරුවත දැන් පෙන්නන්නේ එහෙම ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීතවලට නෙවෙයි. අලුත් ළමයිගේ ගීත සම්බන්ධ කරගෙන වීඩායෝවලින් නිරුවත පෙන්නනවා. මම ඒක පිළිගන්නේ නෑ. මම හිතනවා අපේ රටේ සංස්කෘතියත් එක්ක සංගීතයත් බලපානවා කියලා. අපිට ශ්‍රී ලාංකිකයන් විදිහට සංස්කෘතියක් තියෙනවා. අපේ සංගීතය හැදිලා තියෙන රටාවක් තියෙනවා.

කාලයක් රොමේෂ්ටත් සමහරු කිව්වා නේද මල් සින්දු කියනවා කියලා?

ඔව්නේ... මටත් සමහරු කිව්වනේ මල් සින්දු කියනවා කියලා. එහෙම මම “මල්” සින්දු කියලත් නෑ. සමහරු ඔය විරහ ගීතයක් ගායනා කළාම කියන්නේ මල් සින්දු කියනවා කියලයි. ඒක හරි වැරදියි. එහෙම කියනවනම් මිල්ටන් මල්ලවආරච්චි කොච්චර විරහ ගීත ගැයූ ගායකයෙක්ද? ඉතින් මම “මල්” ගීතකාරයෙක් නෙමේ. සමහර ගීතවල රොමෑන්ටික් දර්ශන තිබුණා. හැබැයි අද කාලේ බොහෝ වීඩියෝවල ඒ රොමෑන්ටික් දර්ශන උපරිමයට ගිහින්. ඒ නිසා මේ වීඩියෝවෙත් රොමෑන්ටික් දර්ශන තියෙනවා. ඒත්... අනවශ්‍ය දර්ශන නෑ. අලුත් නිර්මාණ වේදින්ගේ ගීතවලට කරලා තියෙන දේ ගැන ඇත්තටම දුකයි...

රොමේෂ් ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ ආරම්භයක් තියෙනවනේ.රොමේෂ්ගේ ආරම්භය මතක් කළොත්.

ඇත්තටම මෙතනට එන්න මම පුදුම විදිහට දුක් වින්දා. පුදුම කට්ටක් කෑවා. 2003 “වසන්තයේ සිත සැළුණා” ගීතයෙන් ඇරඹුණු ගමන තමයි මේ. ඒ ගමන මාත් එක්ක ආපු ලක්ෂානුත් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉස්සර අපිට නිර්මාණ කරන්න සල්ලි නෑ. චැනල් දෙකක වගේ තමයි අපේ ගීත ප්‍රචාරය වුණේ. සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ආවට පස්සේ අපිට රංග දසනායක අයියව මුණගැහුණා. එයා අපිට ගොඩක් උදව් කළා. ඒ කාලේ සී.ඩී එකක් කළොත් තමයි ගායකයෙක් වෙන්නේ. අද වගේ වෙබ් සයිට් කිසි දෙයක් ඒ කාලේ තිබුණේ නෑ. චැනල් එකකට යන්නත් හරි අමාරුයි. ඒ හැම දේකින්ම අද මම ජයග්‍රහණය කරලා තියෙනවා.

මන්දාකිණිය කරන්න ඇයි ඔච්චර නිහඬ වුණේ?

මම ආස ගීත විතරක් කලොත් මගේ ගීත විරහ ගීත විතරක් වේවි. ඒ නිසා මම පොඩි බ්‍රේක් එකක් ගත්තා. එතකොට මගේ රසික රසිකාවියන්ට මගේ හොඳ නිර්මාණයක් දකින්න ලැබේවි. ඒ නිසා මම මාස හත අටක් හිටියා. මගේ ගීතවල මුල් කාලයේදීත් මම මේ මියුසික් කළා. මේ නිර්මාණය රිගින්ටෝන් වලින් යූටියුබ්වලින් ආදායම් ලබන්න කරපු නිර්මාණයක් නෙමෙයි.

කෝ අද ලක්ෂාන්?

ලක්ෂාන් ජීවත් වෙන්නේ කැනඩාවේ. ඔහු එහේ හොඳ රැකියාවක් කරනවා. හොඳ දරු පවුලක් ඉන්නවා. ඇත්තටම ලක්ෂාන් හරිම සතුටින් ඉන්නවා. අපි දෙන්නා ෆෝන් එකෙන් කතාබහ කරනවා. රටවල් දෙක අතර වෙලාවල් වෙනස්. හැබැයි ලක්ෂාන්ව මම අවුරුදු අටකින් දැකලා නෑ. හැබැයි අපි කතාබහ කරනවා.

රොමේෂ් කොහොමද දැන් ඔයාගෙයි ඔමාලිගෙයි ජීවිතේ?

අපි දෙන්නා හරිම සතුටින් ජීවත් වෙනවා. කලාකරුවෙකු වුණාම හොඳ පවුල් ජීවිතයක් තිබිය යුතුයි. සාර්ථක මනුස්සයෙක්ට සාර්ථක පවුල් ජීවිතයක් තියෙන්න ඕනේ. ඔමාලි මුලදී රැකියාවක් කළා. දැන් රැකියාවක් කරන්නෙ නෑ. දැන් පුතාට අවුරුදු දෙකයි. පුතාගේ නම චෙනිත ලිමත්. මගේ කොලු පැටියා ළඟ දාංගලයකුත් කියෙනවා. කොල්ලෙක් වුණාම එහෙම දඟලන්නත් ඕනෙනෙ. එයත් මියුසික් වලට හරි කැමතියි. මම ස්ටුඩියෝ එකේ වැඩ කරද්දි ඇවිත් බලාගෙන ඉන්නවා. සමහර ඒවා එයාට කටපාඩම්.

ඔමාලියි රොමේෂුයි එකතුවෙලා සින්දුවක් කළානේ. ආයේ දෙන්නා එකතුවෙලා සින්දුවක් එහෙම කරන්නේ නැද්ද?

අපි දෙන්නා පුතා හම්බෙන්න කලින් “තරු පොදි” කියලා සින්දුවක් කළානේ. ඊට පස්සෙනම් අපි ආයෙත් සින්දුවක් කරන්න උත්සාහ කළේ නෑ. පුතාගේ වැඩත් එක්ක ඒක ටික ටික පස්සට ගියා. බලමු නේද... ඉස්සරහට තවත් නිර්මාණයක් එහෙම කරන්න.

Text – Dishani / Pic - internet (සාරවිට)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කවුද කියන්නෙ මම මල් සින්දු කියනවා කියලා...."

    Post a Comment