ලෝක සිනමාව නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යමින් පවතී. ඒ නවීණ තාක්ෂණය සමඟ අපේ සිංහල සිනමාව පවතින්නේ කොතනද යන්න අද දවසේ අප සාකච්ඡා කළ යුතුය. ගෙවී ගිය වසර 60ක කාලය තුළ සිංහල සිනමාව ඉතා අසීරු ගමනක පැමිණි බව කිවයුතුය. 70 දශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස අප ආඩම්බරයෙන් කතා කළත් 80 දශකයත් සමඟ අප නොසිතූවිරූ ලෙස සිංහල සිනමාව බිඳවැටෙන්නට පටන්ගත්තේය.
විශේෂයෙන්ම 83 වසරේදී මේ රට තුළ ඇවිලීගිය ජාතිවාදී අරගලයන් සමඟ සිංහල සිනමාවටද කණකොකා හඬන්නට විය. ද්‍රවිඩ ජාතිකයන්ට අයත්ව තිබූ සිනමා ශාලා රැසක් එහිදී ගිනිබත් විය. ගාමිණී මරදාන, ට්‍රියො - දෙහිවල, රාජ් - මීගමුව, සිත්තම්පලම් - අනුරාධපුරය ආදී සිනමා ශාලා මෙන්ම හැඳල විජය චිත්‍රාගාරයද ජාතියට අහිමිවිය . ජාතිවාදි කලබල සමඟ හදිසි නීතියද රට පුරා ක්‍රියාත්මක වීමෙන් රාත්‍රී චිත්‍රපට දර්ශනයද අවලංගු විය. ඒ වගේම රාත්‍රී බස්රථ සේවාද නතරවීමෙන් ප්‍රේක්ෂකයන් විශාල වශයෙන් සිනමාශාලාවලින් ඈත්වූ බව රහසක් නොවේ.
මෙවැනි හැලහැප්පීම් මැද චිත්‍රපට නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් පාඩු ලැබූ සිනමාශාලා රැසක් වැසීගියේය. අධික විදුලි ගාස්තු, ප්‍රවේශ පත්‍ර මිල ඉහළයාම, සේවක වැටුප් ඉහළයාම, සිනමාශාලා නඩත්තුව, පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපට නොමැතිවීම, සෑම රූපවාහින චැනලයකම සතියේ දින හතේම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආදී හේතු කාරණා මත සිනමාශාලා වැසීයාමට මූලික විය. නගරබදව සිනමාශාලා කීපයක් දහවල් දර්ශන පමණක් පවත්වාගෙන ගියේය.
විශේෂයෙන්ම පැරණි සිනමාශාලා රැසක් එනම් මීට වසර 40 ක 50 කට පෙර ඉදිකළ ඒවාය. එම සිනමාශාලා ප්‍රමාණයෙන් විශාලය. ආසන 400කට වඩා වැඩි සංඛ්‍යාවක් තිබිණි. මේවා නඩත්තු කිරීම සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැයවිණි. ආදායම පහත වැටීමත් සමඟ මෙම සිනමාශාලා නඩත්තුකිරීම් නවතා දැමිණි. අබලන් වූ මකුණන් සහිත ආසන, ප්‍රක්ෂේපණ යන්ත්‍ර හා ඉන් නිකුත්වන රූප අපැහැදිලිවීම, ශබ්ද රටා දුර්වලවීම, අපිරිසුදු වැසිකිළිවල දුර්ගන්ධය හේතුවෙන් මෙවැනි සිනමාශාලා තුළ චිත්‍රපට නැරඹීම ප්‍රේක්ෂකයා විසින් ප්‍රතික්ෂේප කරන්නට විය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සඳලංකා සිනමාශාලාව අංග සම්පූර්ණ සිනමාශාලාවකි. මෙය පාලනය වන්නේ සඳලංකා සමූපකාර සමිතියෙනි. නව තාක්ෂණය යටතේ මෙම සිනමාශාලාවේ ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර සවිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක් පමණ වැයවන බව එහි සේවකයකු සඳහන් කළේය. සිනමා ශාලාව විශාල නිසා (බැල්කනි සහ Box පහසු කම් ද සහිත, එතරම් විශාල මුදලක් වැයවන බව නවීණ තාක්ෂණයෙන් යුතු ප්‍රක්ෂේපණ යන්ත්‍ර ගෙන්වන සමාගමක් විසින් සඳහන් කර ඇත.
D. T. S. තාක්ෂණය සහිත සිනමාශාලාද ඇත්තේ අතළොස්සකි. D.T.S තාක්ෂණයද දැන් යල්පැනගිය ක්‍රමයකි. D.T.S වෙනුවට ඊට වඩා තාක්ෂණයෙන් ඉහළ 2 – K3 - D සහ E සිනමා නමින් අති නවීණ තාක්ෂණයෙන් යුතු සිනමාශාලා කීපයක් මේ වනවිට අප රටෙහි ඉදිකර ඇත.
සැවෝයි, රිට්ස්, රීගල්, සමන්තා, මැජෙස්ටික්, ලිබර්ටි, සිටි සිනමා ගල්කිස්ස, ඇමිටිලයිට් - මහරගම, ස්කයි ලයිට් මාලබේ, විස්ටාලයිට් - ජාඇල, ඕඩියන් - ගල්කිස්ස, සිනෙමැක්ස් - ජා ඇල ,එම්පයර් ඇතුළු කොළඹ නගරය හා
ඒ අවට සිනමා ශාලාව මෙන්ම රීගල් - ගම්පහ විල්මැක්ස් - අනුරාධපුර, ක්වීන්ස් - ගාල්ල, ජෝති - රත්නපුර, සිනෙක්ස්පෝ - කුරුණෑගල, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, ජයබිම - ගම්පොල, මිලානෝ - කෑගල්ල, සීගිරි - බණ්ඩාරවෙල, නිව් ඉම්පීරියල් - රත්නපුර, ප්ලාසා - කළුතර, විජයන්ති - කඩුවෙල, හිමාලි - කිරිබත්ගොඩ, මේඛලා - ගම්පහ, ඡායා - කෑගල්ල, එමෙස් - මොරටුව, සෙන්ට්‍රල් - මාතලේ, මිනර්වා - කලුතර, මහලේකම් - කුලියාපිටිය, චාන්දනී - වැලිගම, රෙක්ස් - බදුල්ල, චන්ද්‍රා - අවිස්සාවේල්ල, එරීනා - කටුගස්තොට, සිනෙස්ටාර් - අනුරාධපුරය, ඇතුලු සිනමා ශාලා ඉහත තාක්ෂණය ඔස්සේ ඩිජිටල් කරණය වූ සිනමා අතර වෙයි.
මීට වසර ගණනාවකට පෙර ඉදිකළ මෙම සිනමාශාලා ප්‍රමාණයෙන් ඉතා විශාල බැවින් ඩිජිටල් තාක්ෂණයට මෙන්ම වායුසමනයටද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇත. මීට විකල්පයක් ලෙස (mini cinema) කුඩා ප්‍රමාණයේ ආසන 100ත් 150ත් අතර සිනමා ශාලා ජනප්‍රිය කළ යුතුය.
සුපිරි වෙළෙඳසැල් සමඟ මෙම මිනි සිනමාශාලා ඉදිකිරීම සඳහා ආයෝජකයන් දිරිමත් කිරීමේ වැඩසටහන කඩිනම් කළ යුතුය. ඒ වගේම දැනට පවතින ප්‍රවේශපත්‍ර මිලද ඉතා අධිකය. මේ සඳහා සාධාරණ මිලකට ප්‍රවේශ අෙලවිකිරීමට පියවර ගත යුතුය. O. D. C. ටිකට්පතක් රුපියල් 300 – 400 ත් අතර ය. බැල්කනි 450 – 500ත් අතරය. මේ මිල කිසිසේත් සාධාරණ නැත. පවුලේ සාමාජිකයන් 5 දෙනකු චිත්‍රපටයක් බැලීමට ගියවිට අඩුම තරමින් රුපියල් දෙදහසක් හෝ ඊට වැඩි මුදලක් වැය වෙයි. 2-K - 3 - D – e - සිනමා පහසුකම් ඇති සිනමා ශාලාවල මෙම මිල ගණන් මීට වඩා ඉහළය. මේ හේතුවෙන් පවුලේ සැමට චිත්‍රපට නැරඹීමේ අවස්ථාව අහිමිකර ඇත.
මෙරට සිනමා ප්‍රේක්ෂකයන්ට ඒ අහිමි වු අවස්ථාව යළි ලබාදීමට නම් ප්‍රවේශපත්‍රවල මිල යම් ප්‍රමාණයකින් හෝ අඩුකළ යුතුය. සිනමාශාලාවලින් ඈත්වූ ප්‍රේක්ෂක ජනතාව නැවත සිනමාශාලා කරා ගෙන්වා ගැනීම හෙට දවසේ ඇති විශාල අභියෝගයකි.
සිනමාව යනු කලාවක් සේම කර්මාන්තයකි. කෙතරම් චිත්‍රපට නිෂ්පාදනය කළත් ඒවා ප්‍රේක්ෂකයන් නරඹන්නේ නැත්නම් කර්මාන්තයක් වශයෙන් එය කඩාවැටීම නොවැළැක්විය හැකි ය. ඒ වගේම චිත්‍රපට නැරඹීම සඳහා නවීන පහසුකම් සහිත සිනමාශාලා බිහිවිය යුතුය. නළු නිළියන්, කාර්මික ශිල්පීන්, සිනමාශාලා හිමිකරුවන් ඇතුළු සිනමා කර්මාන්තයට ඍජුව හා වක්‍රව සම්බන්ධවන විශාල පිරිසක් සිටිති. එබැවින් සිනමාව කලාවක් සේම කර්මාන්තයක් ලෙස නඟා සිටුවීමේ අභියෝගය කෙළින්ම එල්ලවී ඇත්තේ චිත්‍රපට සංස්ථාවටය. රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව සිනමාව ගොඩනැඟිය නොහැකිය. වැසුණු සිනමාශාලා යළි ඇරඹීම, නවීන තාක්ෂණයෙන් යුතු සිනමාශාලා ඉදිකිරීම, චිත්‍රපට බෙදාහැරීම, සිනමා ශිල්පීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීම, ප්‍රේක්ෂක ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම චිත්‍රපට සංස්ථාවේ පූර්ණ වගකීමකි. මෙම වගකීම් සියල්ල හරි හැටි ඉටු නොකළහොත් ලෝක සිනමාව ඉදිරියේ සිංහල සිනමාවේ රිදීතිරය අඳුරුවී යනු ඇත.
රත්නසිරි පතිරණ (දිනමිණ)
Share this
|
|
0 Comment to "කැලෑ හඳක්වත් නැති අපේ සිනමාව"
Post a Comment