14 July, 2017

වීඩියෝ සාකච්ඡා සඳහාම වූ අංශක 360 ක කැමරාවක්

Meeting Owl

සාමාන්‍යයෙන් කාර්යාලයක ‍රැස්වීමක් පවත්වන විටකදී එම ‍රැස්වීමට අදාළ සියලුම දෙනා එතැනට පැමිණ සිටීම අනිවාර්යය දෙයකි. නමුත් වර්තමානය වන විට මෙම තත්ත්වය වෙනස් වෙමින් පවත්නා බවද හැ‍ඟේ.

උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, සාමාන්‍යයෙන් විශල සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල ‍රැස්වීමක් පැවැත්වීමේදී එතැනින් කෙනෙකු දෙදෙනෙකු හෝ යම් විටක කිහිපදෙනෙකු පවා විදේශගතව හෝ වෙනත් එවැනි අනිවාර්යය හේතුවක් නිසාවෙන් නොපැමිණ සිටීම දැකිය හැකි කරුණකි.

මීට අමතරව වර්තමානයේ ඇති බොහෝ ස්ටාට්-අප් වර්ගයේ දියුණු වන සමාගම්ද ක්‍රියාත්මක වන්නේ එහි සේවකයන් එක් කාර්යාලයක නොව තැන් කිහිපයක සිට වැඩ කරමිනි. වත්මනේදී ‍ෆ්‍රී ලාන්සින් හෙවත් නිදහස්ව සේවා සැපයීමද ප්‍රචලිතව ඇති බව මෙහිලා සඳහන් කිරීම වටී.

කෙසේ නමුත් මෙවැනි අවස්ථාවක ඉතාමත් පහසු ක්‍රමයක් ලෙසින් වීඩියෝ කොන්ෆරන්සින්ග් ප්‍රචලිත වෙමින් පවතී. මෙහිදී ‍රැස්වීම් කාමර තුළ භාවිත කිරීම සඳහා වන කැමරාවන් වැඩි වැඩියෙන් වෙළෙඳපොළට පැමිණෙන බවද අපට දක්නට ලැබී ඇත. කෙසේ නමුත් මෙම වීඩියෝ කොන්ෆරන්සින්ග් කැමරා වල එක් ගැටලුවක් තිබේ. එනම් ඒවායින් ග්‍රහණය කරගත හැකි පරාසය සීමිත වීමයි.

වෙනත් ලෙසකින් පවසන්නේ නම් මේ වනවිට වෙළෙඳපොළේ දක්නට ඇති වීඩියෝ කොන්ෆරන්සින්ග් කැමරාවක් කථකයා දෙසට හැරවීමට සිදුවේ. මෙය ගැටලුවක් නොමැති බව බැලූ බැල්මට පෙනී ගියත්, එක්වර කිහිප දෙනෙකු කථා කරන විට එය කරදරකාරී වීම, එසේ කථිකයා දෙසට කැමරාව හැරවීමට සිහිපත් නොවීම වැනි ගැටලු ඇතිවීම සුලභවේ. හඳුන්වා දෙන අංශක 360ක කෝණයක් ආවරණය කළ හැකි ආකාරයේ Meeting Owl කැමරාව සුවිශේෂී වන්නේ මෙවැනි අවස්ථාවකදීයි.

බැලූ බැල්මටම සැබවින්ම බකමුහුණෙකුගේ හැඩයක් ඇති මෙම අංශක 360 ක Meeting Owl කැමරාව මගින් උක්ත සඳහන් ගැටලුව විසඳා දෙන්නේ ‍රැස්වීමක් පැවැත්වීමේදී මේසය වටා ඇති සියලු දෙනාව ග්‍රහණය කරගැනීමෙනි.

මෙය සාකච්ඡා මේසය මධ්‍යයේ මූලිකව ස්ථානගත කළ පසුව, යමෙකු කතා කරනා මොහොතේදී මෙම Meeting Owl කැමරාවේ ස්ථාපිතකොට ඇති ක්‍රමවේදය මගින් එම කථිකයාගේ දර්ශනය ග්‍රහණය කරගන්නා අතර, කිහිප දෙනෙකු එක්වර කථා කරන්නේ නම්, තිරය බෙදී යන ලෙසින් එම කිහිපදෙනාගේම වීඩියෝ දර්ශන කුඩා තිර කිහිපයකින් සමන්විත එක් දසුනක් ලෙසින් ලබාදෙනු ඇත.

මෙය තත්‍යකාලීනවම මෙන් සිදුවන අතර, ඒ සඳහා මෙම කැමරාවේ ඇති කෘත්‍රිම බුද්ධිය උපකාරී වේ. සැබවින්ම මෙහි ඇති විශේෂත්වය වන්නේ, මෙසේ පහසුවෙන් කථා කරන්නන් වෙන් වෙන්ව පෙන්වීමේදී, සාකච්ඡා මේසයේ නොසිටින්නන් හටද ඉතාමත් පැහැදිලිව සාකච්ඡාවේ සිදුවන දේ සම්බන්ධයෙන් වැටහීමක් ලැබීමයි.

උස්, පතුළට විශාල වන සිලින්ඩරාකාර හැඩයකින් යුතුව නිර්මාණය කොට ඇති මෙම Meeting Owl කැමරා උපාංගය තනි ලෙන්සයකින් යුක්ත වන අතර, එහි අංශක 360 ක කැමරාවක් මුදුනත ස්ථාපනය කොට ඇත්තේ ගෝලාකාර දර්ශනයක් ලබාදීම සඳහායි. මේ නිසා පොදුවේ සාකච්ඡා මේසය වටා සිටින සියල්ලන්ම තිරයේ දිස් වන බව මෙයින් සහතික කෙරෙනු ඇත.

මෙයින් ලබාගන්නා දර්ශන එම මොහොතේම අන්තර්ජාලය ඔස්සේ අදාළ පුද්ගලයින්ගේ උපාංග වෙත විසුරුවා හැරීමට Meeting Owl කැමරාව සමත් වන අතර, එයින් එසේ විසුරුවා හරිනු ඇත්තේ 720p ගුණාත්මක භාවයේ වීඩියෝ පමණි. මෙයට හේතුව, පැහැදිලි වීඩියෝ දසුන් ලබාදීම සමගින්ම, අන්තර්ජාල සම්බන්ධතා‍ෙවන් විශාල ප්‍රමාණයක් ලබාගැනීම වැළැක්වීමටයි.

මෙයට අමතරව මෙම Meeting Owl උපාංගයේ සර්වදිශා මයික්‍රෆෝනයන් අටක් ස්ථාපනය කොට ඇත්තේ සාකච්ඡා කාමරය තුළ ඇසෙනා සියලුම හඬ මනාව ග්‍රහණය කරගැනීමට හැකිවීම සඳහායි. එසේම මෙහි 360-degree wideband ස්පීකරයක්ද ඇති අතර, අනෙක් අන්තයන්හි සිටින්නන් කියනා දෙයද මනා පැහැදිලි ශ්‍රව්‍ය ගුණාත්මක තත්වයකින් සාකච්ඡා කාමරය පුරා විසුරුවා හැරීමට එය සමර්ථ වනු ඇත.

මෙම සියලුම ස්ථාපනය වූ පහසුකම් සමගින් වුවත් Meeting Owl උපාංගය විශාල වන්නේ උසින් අඟල් 10.8 ක් සහ මධ්‍යන්‍ය විශ්කම්භයෙන් අඟල් 4.4ක් පමණි. මෙය කිසිසේත්ම සාකච්ඡා මේසයේ වැඩි ඉඩක් නොගන්නා තරමට හුරුබුහුටි වන අතර, පහසුවෙන් එහා මෙහා ගෙනයෑමද අපහසු නොවේ.

මෙහි පාලකයන්ද සරල වන අතර, ඒවා උපාංගය මතම තිබේ. එසේම විශාල වක්‍ර දෑසක් ලෙසින් පෙනී යෑම සඳහා LED ආලෝක කව දෙකක්ද මේ මත Meeting Owl නිෂ්පාදකයින් විසින් පිහි‍ටුවා ඇත්තේ මෙහි නමට සරිලන පෙනුමක් තිබීමද වැදගත් වන බැවින් යැයි සිතිය හැක.

මෙම උපාංගය නූතනයේ භාවිත වන Skype, Hangouts වැනි ප්‍රධාන වීඩියෝ කොන්ෆරන්සින්ග් පර්යන්තයන් සමගින්ද, Zoom හෝ iMeet වැනි වීඩියෝ කොන්ෆරන්සින්ග් සොෆ්ට්වෙයාර් සමගින්ද මනාව ක්‍රියාත්මක වනු ඇත. මීට අමතරව Windows, Mac, Linux සහ Chrome OS වැනි ඕනෑම පරිගණක මෙහෙයුම් පද්ධතියක් සමගින්ද මනාව ක්‍රියාත්මක වීමටද හැකියාව මෙයට ඇත. කළ යුත්තේ මෙය USB සම්බන්ධතාව ඔස්සේ සාමාන්‍ය වීඩියෝ කැමරාවක් ලෙසින් පරිගණකයකට ඈඳීම පමණි.

( පැතුම් පුංචිහේවා - Ada ) 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වීඩියෝ සාකච්ඡා සඳහාම වූ අංශක 360 ක කැමරාවක්"

    Post a Comment