14 July, 2017

රටක් අඳුරට හෙළන ගල් අඟුරු ඇල්ම

Coal power stations

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2018 – 2037 කාලය තුළදී ලංකාවේ අලුතෙන් මෙගාවොට් 2700ක ගල් අඟුරු බලාගාර ඉදිකිරීම සඳහා සැලැස්මක් සකසා ඇත. එය මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය සඳහා භාර දී ඇත. එම සැලැස්ම වර්තමාන රජයේ ප්‍රතිපත්තියට ඉඳුරාම පටහැනි බව අපගේ අදහසයි.

ලෝකයේ රාජ්‍ය නායකයින් තිරසාර සංවර්ධන ඉලක්ක 17 ප්‍රකාශයට පත් කළේ 2015 වසරේ දීය. එහි 7වැනි තිරසර සංවර්ධන ඉලක්කය වන්නේ පිරිසිදු බලශක්තියයි. පිරිසිදු බලශක්තිය පිළිබඳ උවමනාව පහළ වූයේ මේ වන විට ලෝකයට මුහුණ දීමට සිදු වී ඇති දේශගුණික විපර්යාසය නිසාය. ඉන් ඇති වන උෂ්ණත්වය ඉහළ යාම නියඟය, ජීවලෝකය විනාශ වී යාම, ගොවිතැන, විනාශ වීම, කැලෑ ගිනි ගැනීම, ගංවතුර නාය යෑම, සුළි සුළං මුහුදේ ජල මට්ටම ඉහළ යාම, මුහුදුබඩ ජනාවාස විනාශ වීම, ඩෙංගු ආදී වසංගත පැතිරීම ආදී ව්‍යසන ඇති වේ.

දැනට ලෝකය භාවිත කරන අපිරිසිදුම බලශක්ති ප්‍රභවය වන්නේ ගල් අඟුරු ය. ඒ, ගල් අඟුරුවලින් දේශගුණික විපර්යාසයට හේතු වන කාබන්ඩ‍යොක්සයිඩ් වැඩිම ප්‍රමාණයක් පිටවන නිසා ය. 1990 දශකයේ දී ගල් අඟුරු ජාවාරම්කරුවන් පිරිසිදු ගල් අඟුරු නමින් කිළිටි ගල් අඟුරුවල සුදු හුණු ගාන්නට උත්සාහ කළ නමුත් එය බොරුවක් බව පසුව තහවුරු විය. 2015 දේශගුණික විපර්යාසය පිළිබඳ පැරිස් සමුළුවේ දී ගල් අඟුරු භාවිතය ස්ථිරසාර ලෙස අවසන් කිරීමට ලෝක නායකයන් එකඟ විය. ඒ අනුව මින් ඉදිරියට ලෝකයේ කිසිදු දියුණු රටක අලුතෙන් ගල් අඟුරු බලාගාර ඉදිවන්නේ නැත. දියුණු රටවල දැනට ක්‍රියාත්මක වන ගල් අඟුරු බලාගාර සියල්ල ඉදිරියේ දී ක්‍රමානුකූලව වසා දමනු ලැබේ. චීනය හා ඉන්දියාව අලුතෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ ගල් අඟුරු බලාගාර ඉදිකිරීම නවතාලීමට දැන් තීරණය කර ඇත. ඒ වෙනුවට සූර්ය බලය ආදී පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වෙත වැඩි අවධානයක් යොමු කර ඇත.

ශ්‍රී ලංකාව තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ‘තිරසර යුගයක්’ ප්‍රකාශය පත්කර ඇත. තිරසර යුගයක් බිහි කිරීම උදෙසා ‍පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වීම ගැන ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රශංසාව හිමි වී ඇත. එමෙන්ම ඊට ජාත්‍යන්ර ආධාර උපකාර ලබා ගැනීම සඳහා සැලසුම් සකස් වෙමින් පවතී. මෙලෙස තිරසර යුගයක් තේමාව යටතේ තිරසර ලංකාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රජය විසින් මින් පෙර ද ඉදිරිපත් කර තිබූ අතර ඊට මහජන අනුමැතිය ද ලැබී තිබේ. වර්තමාන ජනාධිපතිතුමාගේ ‘මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ පිළිබඳ මෙලෙස සඳහන් වේ.

‘ඉහළ යන ඉන්ධන මිල හා දිනෙන් දින උග්‍ර වන පරිසර ප්‍රශ්න නිසා බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නෙමි. දර විදුලිය (ඩෙන්ඩ්‍රෝ) සුළං බලය, සූර්ය බලය, සමුද්‍ර ශක්තීන් ආදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් රටේ ජනතාවගේ මූලික බලශක්ති අවශ්‍යතාවයන් සහමුලින් ම පාහේ සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නෙමි. විශේෂයෙන් මෙතෙක් කලක් ගල් අඟරු හා ඛනිජතෙල් මාෆියාව වෙත ඇදී ගිය විදුලි පාරිභෝගිකයාගේ මුදල් ග්‍රාමීය ප්‍රදේශවල ගොවි ජනතාව වෙත ගලායාම සඳහා රට පුරා දර විදුලි බලාගාර ස්ථාපිත කිරීමට කටයුතු කරන්නෙමි. දැනට පොසිල ඉන්ධන සඳහා ලබා දෙන සියලු සහනාධාර ක්‍රමානුකූලව ඉවත් කර එම සහන පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් සඳහා ලබා දී පාරිභෝගිකයාට අඩු මිලට බලශක්ති සැපයීමට අවශ්‍ය කටයුතු කරමි. එහිදී ලෝකයේ ස්ථාපිත කර ඇති පිරිසුදු බලශක්තිය සඳහා වන දිගුකාලීන සහන ණය අප රටේ පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය සඳහා ලබා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් දියත් කරන්නෙමි.

‍මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් 56 – 57 පිටු

එමෙන්ම 2016 වසරේ දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැතිතුමාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයේ ‘පංච විධ ක්‍රියාවලිය’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙලෙස සඳහන් වේ.

‘එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනතුරු අඟවා ඇති පරිදි තෙල්, ගල් අඟුරු හා ගෑස් භාවිතය නිසා කාබන්ඩයොක්සයිඩ් පිටවීම දැනටමත් මිනිසාට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත. ඒක පුද්ගල කාබන් විමෝචනය දැනටමත් සීමාව ඉක්මවා ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ විශාලතම මුදලක් වැය වන්නේ තෙල් ගෙන්වීම සඳහා ය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ප්‍රතිපත්තියක් ලෙස විකල්ප බලශක්ති ප්‍රභව ශක්තිමත් කෙරේ. සුළං බලය, මුහුදු රළ, දර ස්වාභාවික ගෑස්, සූර්යතාපය වැනි විකල්ප බලශක්ති ප්‍රභව උත්පාදනයට විශේෂ සහනාධාර සැලසේ. පරිසර දූෂණය අ‍ඩුම රට ලෙස එක්සත් ජාතීන්ගේ නිර්ණායක ඉහළින්ම සපුරාලීමට කැපවේ.’

වර්තමාන ජනාධිපතිතුමාගේ දින සියයේ වැඩපිළිවෙළ මඟින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මඟින් එළි දැක්වූ ‘බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධන සැලැස්ම 2015 -2025’ හි මෙලෙස සඳහන් වේ.

බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක

2030 වන විට ශ්‍රී ලංකාව බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම

‘පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ජනනය කිරීමේ ප්‍රතිශතය 2014 දී වූ 50% සිට 2020 දී 60% දක්වා වැඩි කෙරේ. 2030 වනවිට සමස්ත බලශක්ති අවශ්‍යතාවය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් සහ වෙනත් දේශීය බලශක්ති ප්‍රභව වලින් සපුරාලීමට කටයුතු කෙරේ.’

සමස්තයක් ලෙස මෙම රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ඉතා පැහැදිලිය. 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය ස්වයං පෝෂිත විය යුතුය. එහිදී ලංකාව සතු ස්වාභාවික බලශක්ති සම්පත් වන්නේ ජල විදුලිය, සුළං, දර, මුහුදු රළ හා සමුද්‍ර තාපය ආදියයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධියක් තිබීමේ විභවයක් ඇත. ස්වාභාවික වායු පොසිල ඉන්ධනයක් වුවද ඉන් පරිසරයට වන හානිය ගල් අඟුරු හා ඛණිජ තෙල්වලට වඩා අඩුය. එහෙත් ලංකාවේ ගල් අඟුරු නිධි නැත. එම නිසා පාරිසරිකව ඉතා අහිතකර ගල් අඟුරු කිසි ලෙසකින් දේශීය බලශක්ති සම්පතක් නොවේ.

පසුගිය රජය යටතේ පැවැති ලංකා විදුලිබල මණ්ඩලයේ සැලැස්මට අනුව පුත්තලම මෙගාවොට් 900ක ගල් අඟුරු බලාගාරය ඉදි කෙරිණි. එම රජය‍ සමයේ පුත්තලම ගල් අඟුරු බලාගාරයට අවම ලංසුව ඉදිරිපත් කළේ ඉන්දියානු සමාගමක් වුවද එය චීනයෙන් ණයක් ලබාගෙන ඉදිකිරීමට රජය තීරණය කළේය. එම නිසා ත්‍රිකුණාමලයේ ගල් අඟුරු බලාගාරය, ඉන්දියාවත් සමඟ එක්ව ඉදි කිරීමට කටයුතු යෙදිණි. එසේ වුවද වර්තමාන රජයේ ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව වර්තමාන ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා, ඉන්දියානු අගමැතිතුමා සමඟ අවබෝධයක් ඇති කරගෙන එම බලාගාරය ස්වාභාවික වායු බලාගාරවලට හා සූර්ය බලාගාරවලට වෙනස් කිරීමට කටයුතු කෙරිණි. ඒ සඳහා කටයුතු පිළියෙල වෙමින් පවතින වාතාවරණයක් තුළ ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කිරීම අතිශය ගැටලු සහගතය.

ගල් අඟුරු බලාගාරයක් ඉදි කළ විට එම බලාගාරය අවම වශයෙන් වසර 30වත් ක්‍රියාත්මක වේ. ලංකා විදුලි බල මණ්ඩලයේ සැලැස්ම අනුව මීළඟ ගල් අඟරු බලාගාරය පද්ධතියට එකතුවන්නේ 2023 දීය. අවසන් ගල් අඟුරු බලාගාරය පද්ධතියට එකතු වන්නේ 2035 දීය. ඒ අනුව එම බලාගාර අවම වශයෙන් 2053 හා 2065 දක්වා විදුලිය නිපදවිය යුතුය. එනම් මේ වන විට රජයේ ප්‍රතිපත්තියට සපුරා පටහැනිව 2023 වසරේ සිට 2037 වසර දක්වා දිගින් දිගටම ගල් අඟුරු බලාගාර පිහිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බව පැහැදිලිය.

මේ වන විට පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් ගේ වියදම ශීඝ්‍ර ලෙස පහළ බැස ඇත. ඒ අනුව සුළං විදුලිය, ගල් අඟුරුවලට වඩා ලාභ බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට පවා පිළිගැනීමට සිදුවී ඇත. සූර්ය බල තාක්ෂණයේ වියදම පසුගිය වසර 5 තුළ දී 80% කින් පහළ වැටී ඇත. අනෙක් අතින් ගල් අඟුරු බලාගාරවලට පැනවෙන නීති හා ඉදිරි දශක කිහිපය තුළ සිදු විය හැකි වෙනස්වීම් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා විදේශ විනිමය වැයවීම ආදිය වෙත අවධානය යොමු කිරීමේ දී පෙනී යන්නේ ගල් අඟුරු බලාගාර ඉදිකිරීම ප්‍රඥාගෝචර නොවන බවයි. බලාගාරවල මුළු ආයු කාලය සැලකීමේ දී පුනර්ජනනීය බලශක්තියට වඩා අනිවාර්යයෙන්ම ගල් අඟුරුවල මිල ඉතා ඉහළය.

එම නිසා විසඳා ගත යුතුව ඇති එකම තාක්ෂණික ප්‍රශ්නය වන්නේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව අතරින් සුළං හා සූර්ය ශක්තිය ගබඩා කිරීමට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සැලැස්මට අනුව 2025 වන විට මෙගාවොට් 200ක පළමු ජල පොම්ප ජල විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට හැකිය. 2027 වන විට එය මෙගාවොට් 600 දක්වා ඉහළ නැංවේ. එවිට සූර්ය හා සුළං විදුලිය ගබඩා කිරීමට හැකි වේ. අනෙක් අතින් දැනට ලෝකයේ වේගයෙන්ම දියුණු වෙමින් පවතින තාක්ෂණයක් වන්නේ බැටරි තාක්ෂණයයි. ඒ ප්‍රධාන වශයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය, ඛනිජ තෙල් භාවිතයෙන් මුදා ගැනීම සඳහාය. සන්නිවේදන ක්ෂේත්‍රය සඳහා ද බැටරි තාක්ෂණය ශීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබේ. ඊට අනුරූපව බැටරි තාක්ෂණයේ වියදම මේ වන විට ශීඝ්‍රයෙන් පහළ යමින් පවතී. එම නිසා 2020 පමණ වන විට බැටරි තාක්ෂණය තරගකාරී මට්ටමට ඒමට නියමිතය .

ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට දීර්ඝ කාලයක් වැය වේ. එම නිසා විදුලිබල මණ්ඩලයේ සැලසුම්වලට අනුව මීළඟ පළමු ගල් අඟුරු බලාගාරය ඉදි කිරීමට හැකි ඉක්මන්ම වසර වන්නේ 2023 දීය. ඒ අතරතුර වැඩි වන ඉල්ලුම සපුරාලීම සඳහා වෙනත් විකල්පවලට යාමට සිදු වේ. එහිදී විදුලිබල මණ්ඩලයට ඇති ප්‍රධානතම විසඳුම මෙගාවොට් 588 ක ඛනිජ තෙල් විදුලි බලාගාරයි. එය දිගු කාලීන විසඳුමක් නොවන්නේ දැනටමත් වැඩිම වියදමක් යන්නේ ඛනිජතෙල් බලාගාරවලට නිසාය. දැනටමත් ඛනිජතෙල් බලාගාරවල විදුලි ඒකකයකට රුපියල් 30 – 36 කට වඩා වැය වේ. එම නිසා කෙටි කාලීන විසඳුමක් ලෙස ඛණිජතෙල් විදුලියට යොමු වීම විදුලිබල මණ්ඩලය පැත්තෙන් ගත් විට සිය දිවි නසා ගැනීමකි. මෙය ඍජුවම පුද්ගලික තෙල් විදුලි බලාගාරවලට අලුත් වෙළෙඳපොළක් විවෘත කර දීමකි. එබැවින් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ ගල් අඟුරු සැලැස්ම, පුද්ගලික අංශයේ ඛනිජ තෙල් ව්‍යාපාරිකයන්ගේ උවමනාවට ගැළපෙන්නකි. ගල්අඟුරු බලාගාර හැදුණත් නැතත් ඉංජිනේරුවන් හා තෙල් විදුලි ව්‍යාපාරිකයන් දිනුම්ය. මෙය තෙල් හා ගල් අඟුරු මාෆියාවේ ඒකාබද්ධ මෙහෙයුමකි. රජයේ තිරසර ප්‍රතිපත්ති බිල්ලට දීමට සිදු වී ඇත්තේ මේ තෙල් ගල් අඟුරු මාෆියාවේ උවමනාවන් සංතර්පනය සඳහා ය.

2017 සිට 2023 දක්වා මතු වී ඇති විදුලි හිඟයට ගල් අඟුරු විසඳුමක් නොවේ. ලංවිම යෝජනාව වූ කෙටිකාලීන තෙල් බලාගාර පාරිභෝගිකයා හා විදුලිබල මණ්ඩලය බංකොලොත් කරවමින් අතළොස්සක් වූ ඉංජිනේරුවන් ගේ හා තෙල් ව්‍යාපාරිකයන් ගේ මඩි තර කරවන්නකි. දැන් මතුවී ඇති විදුලි අර්බුදයට ඇති ක්ෂණික විසඳුම සූර්ය වහල සහ බලශක්ති සංරක්ෂණ උපකරණයි. එය අනිවාර්යයෙන්ම තෙල්වලට වඩා ලාභ වේ. විසඳුම ඉතා සරලය. කළ යුතු වන්නේ දැනට අරඹා ඇති සූර්ය බල සංග්‍රාමය වේගවත් කිරීමයි.

සූර්ය බල සංග්‍රාමයේ ඉලක්කය සූර්ය වහල මිලියනයක් 2025 වන විට ස්ථාපිත කිරීමයි. ඉන් ලක්ෂ දෙකක් වහල දුප්පත් පවුල්වලින් වීමට රජය වග බලා ගනී. ඒ අනුව වහල මිලියනයෙන් මෙගාවොට් 1000ක් පමණ පද්ධතියට එකතු කළ හැකිය. රජය දැනටමත් ඒ සඳහා විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය ප්‍රකාශයට පත් කර ඇත. එනම් පළමු වසර 7 ඇතුළත විදුලි ඒකකයක් රු. 22.50 කි. ඉන් පසු රු. 1 5.50 කි. මෙය තෙල්වලට වඩා ඉතා ලාභ විසඳුමකි. මෙම වැඩසටහන ගැන වැඩි ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා දිරි දීමක් ලෙස දැනට ඛනිජ තෙල් විදුලි ඒකකයකට ලබා දෙන රු. 30 – 36 ක මුදල එම කාලවලදී සූර්ය වහලට ද ලබා දිය හැකිය. සූර්ය බලය පායන කාලයේ දී වැඩිය. එම නිසා ජල විදුලිය හිඟ කාලයේ දී එම ජල විදුලිය දවල් කාලයේ දී භාවිත නොකර රාත්‍රියට ඉතිරි කර ගැනීමට මින් ඉඩ ලැබේ. එහි කිසිදු තාක්ෂණික ගැටලුවක් නැත. සූර්ය බල සංග්‍රාමයේ ඉලක්ක වසර 2020 වන විට ළඟා කර ගැනීම සඳහා සූර්ය බලසංග්‍රාමය කඩිනම් කිරීම අවශ්‍ය වේ. මේ සඳහා ආයෝජනය කරන්නේ රජය හෝ විදුලිබල මණ්ඩලය නොව පාරිභෝගිකයාය. ‍සේවාව ලබා දෙනුයේ පුද්ගලික සමාගම්ය. එම නිසා මෙය කඩිනම් කිරීමේ කිසිදු බාධාවක්ද නැත. එමෙන්ම දර විදුලි බලාගාර පද්ධතියට එකතු කිරීම පිණිස කිසිදු තාක්ෂණික ගැටලුවක් නොමැති නිසා ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් “වස විස නැති රටක්” වැඩසටහනට හා ‘ගිනිසීරියා මෙහෙයුම’ ට සමාන්තරව දියත් කළ හැකිය.

ඒ අතරතුර කුඩා ජලවිදුලිය ද ඉදි කළ හැකි සියල්ල 2020 පමණ වන විට නිමා කළ හැකිය. මෙම වැඩසටහන අවාසනාවන්ත ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ එක් අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකුගේ අත්තනෝමතික තීරණයක් මත සම්පූර්ණයෙන්ම නැවතී ඇත. එම නිලධාරියා එලෙස අත්තනෝමතිකව කටයුතු කරන විට ඊට එරෙහිව පියවර ගැනීමට සෙසු නිලධාරීන් අසමත්ව ඇත්තේ එම අයටත් ගල් අඟුරු හා ඛනිජතෙල් මාෆියාවේ බැල්ම වැටී ඇති නිසාද යන ප්‍රශ්නය දැන් බලශක්ති ක්ෂේත්‍රය තුළ සාකච්ඡා වෙමින් පවතී.

රජය අතළොස්සක් වූ කූට තෙල් හා ගල් අඟුරු ජාවාරම්කරුවන්ට හසු නොවී සිය තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය මත ඍජුව පිහිටා කටයුතු කිරීමටත් පාරිභෝගිකයන් මෙම අභියෝගය හමුවේ සජීවීකරණය කිරීමටත් පෙරමුණ ගත යුතුව ඇත. තව දුරටත් විදුලිය නිපදවීම යනු ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ පුද්ගලික සමාගම්වල හෝ ව්‍යාපාරයක් නොවේ. එය විදුලි පාරිභෝගිකයාගේ සාමූහික ව්‍යාපාරයකි. විදුලිය නිපදවීම මින් ඉදිරියට සමූපකාර ව්‍යාපාරයක් බවට පත් වීම අනිවාර්යයක් වේ. විදුලි බල මණ්ඩලයට සිදු වන්නේ ඒවා සම්බන්ධීකරණය කිරීම පමණකි.

දැන් විදුලිබල මණ්ඩලයේ ප්‍රමුඛතා ද වෙනස් විය යුතුය. දැවැන්ත විදුලි බලාගාර හැදෙන විට ඒවා බෙදා හැරීම සඳහා දැවැන්ත සම්ප්‍රේෂණ පද්ධතියක් ද අවශ්‍ය වේ. විදුලිය නිපදවීම විමධ්‍යගත වන විට එලෙස දැවැන්ත සම්ප්‍රේෂණ පද්ධතියක් අවශ්‍ය නොවේ. ඒ වෙනුවට විදුලිය ගබඩා කිරීමේ හා අවශ්‍ය වේලාවට පද්ධතියට මුදා හැරීමේ තාක්ෂණයන් වැඩි දියුණු කළ යුතු වේ. මෙය සුහුරු විදුලි ජාලය (ස්මාට් ග්‍රිඩ්) නම් වේ. මක්නිසාදයත් විදුලිය ගබඩා කිරීමේ තාක්ෂණයන් ලාභදායී වූ විට, තව දුරටත් පාරිභෝගිකයාට විදුලිබල මණ්ඩලය අවශ්‍ය නොවනු ඇත. එම නිසා පාරිභෝගිකයා තව දුරටත් විදුලිබල මණ්ඩලයේ ජාතික රැහැන් පද්ධතිය තුළ රඳවා ගැනීමට නම් ඒ සඳහා දැන්මම විදුලිබල මණ්ඩලය සූදානම් විය යුතුය. එම අවකාශය පිරවීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් නොවන්නේ නම් එහි අනාගතය අඳුරු වීමට ඉඩ ඇත.

අශෝක අභයගු ණවර්ධන
සභාපති - උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරන ආයතනය (සෙමා) - 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රටක් අඳුරට හෙළන ගල් අඟුරු ඇල්ම"

    Post a Comment