02 July, 2017

අයිෆෝනය තවත් වසර දහයකට පසු

iphone 7 concept

මෙම දිනවල සමාජ ජාල සහ බොහෝ ප්‍රවෘත්ති ජාලයන් තුළ කථාබහට ලක්වන කරුණක් වන්නේ ඇපල් අයිෆෝනයට අවුරුදු 10ක් පිරීමේ සංවත්සරයයි. එම සංවත්සරය අදයි. මෙයට අවුරුදු 10 කට පෙර, එනම් 2007 ජූනි 29 දින වෙළෙඳපොළට එළිදැක්වූ අයිෆෝනය සැබවින්ම ලෝකයේ ස්මාට්ෆෝනය යන සංකල්පය ප්‍රචලිත කිරීමට ඉමහත් දායකත්වයක් ලබාදුන් බව නොරහසකි.

ලෝකයේ ප්‍රථම වතාවට එළිදු‍ටු ස්මාට්ෆෝනය අයිෆෝනය නොවන්නාක් සේම, ලෝකයේ ප්‍රථම ස්මාට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය iOS වන්නේද නොවේ. එය එසේ වූවත් 2007 දී ඇපල් සමාගම මගින් හඳුන්වා දුන් අයිෆෝනය යනු බහු-ස්පර්ෂ අතුරු මුහුණතක් ලෝකයට හඳුන්වා දුන් පළමු ස්මාට්ෆෝනයයි. සැබවින්ම ලෝකයේ බොහෝ දෙනෙකු ස්මාට්ෆෝනය යැයි හඳුනාගන්නා වර්තමාන උපාංගයේ ජනප්‍රියම පුරෝගාමියා වූයේ අයිෆෝනය යැයි කීම නිවැරදි වනු ඇත.

මේ වනවිට අයිෆෝනයේ ප්‍රධානතම තරගකරුවා ලෙසින් එක් ස්මාට්ෆෝන් වෙළෙඳ නාමයක් හැඳින්විය නොහැකි වන අතර, වඩාත් සුදුසු වන්නේ අයිෆෝනයේ ප්‍රධානතම තරගකරු ලෙසින් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝනයන් හැඳින්වීමයි.

අතීතයේ සිටම අයිෆෝනය යනු වඩාත් සුඛෝපභෝගී ස්මාට්ෆෝනයක් ලෙසින් සිය වෙළෙඳ නාමය සකසාගෙන තිබූ අතර, ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝනයන් ඉදිරියට ආවේ සාමාන්‍ය ජනතාවට පවා ප්‍රවේශ විය හැකි ‹මිනිසුන්ගේ ස්මාට්ෆෝන් උපාංගයන්› ලෙසිනි. තවමත් අයිෆෝන් උපාංගයන් නඩත්තු කරන්නේ තමන්ටම අනන්‍ය වූ එම සුඛෝපභෝගීත්වයේ සංකේතයක් යන අදහසයි.

අද දිනයේදී අයිෆෝනයේ සාර්ථකත්වය සමරන්නාක් සේම බොහෝ දෙනාගේ අවධානයට ලක්වන කරුණ වන්නේ තවත් වසර දහයකට පසු අපට දක්නට ලැබෙනා අයිෆෝනයක් කුමන ගති ලක්ෂණ දරනු ඇතිද යන්නයි. මෙහිදී බොහෝ දෙනෙකු සැක පහළ කරන්නේ අයිෆෝනයේ අභාවයද ඒ වනවිට ආසන්න වනු ඇතැයි යන්නයි.

සැබවින්ම වසරින් වසර නවීනත්වයට පත්වන ස්මාට්ෆෝන් පරිණාමය දෙස බලනවිට තවදුරටත් අයිෆෝනය යනු තවත් එක් සුඛෝපභෝගී ස්මාට්ෆෝනයක් මිස ලෝකයේ විශිෂ්ටතම ස්මාට්ෆෝනය නොවේ.

එනිසා ඉදිරියේදී තම අනන්‍ය වූ හැඩය, පෙනුම සහ නිමාව ආරක්ෂා කරගනිමින් වූවද නවීන ස්මාට්ෆෝන් උපාංග සමගින් තරග වැදීමට තම දෘඩාංගයන් නවීකරණයට ලක් කිරීමට, මෙහෙයුම් පද්ධතියට නවාංග එක් කිරීමට මෙන්ම අයිෆෝනයේ හැකියාවන් වැඩි දියුණු කිරීමට හා නව හැකියාවන් හඳුන්වා දීමට ඇපල් සමාගමට සිදුවනු ඇත.

කෙසේ නමුත් ඕඩියෝ ජැක් එක ඉවත් කිරීම වැනි ‹නව්‍යකරණයන්› සැබවින්ම එයට මාර්ගයද යන්න අනාගතයේදී තීරණය වනු ඇත.

( පැතුම් පුංචිහේවා - ada) 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අයිෆෝනය තවත් වසර දහයකට පසු"

    Post a Comment