22 July, 2017

“ඔස්ට්‍රේලියාවත් අංක 1 කණ්ඩායම විදියට ඇවිත් 3-0 පැරදිලා ගියේ..” - තරංග

Indian tour - Upul Tharanga - Virat Kholi - 02

ලොව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමට එරෙහිව ක්‍රීඩා කළ යුත්තේ කෙසේද යන්න තම කණ්‌ඩායම හොඳින් දන්නා බවත් ඒ අනූව සැලසුම් දියත් කරන බවත් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ උපනායක උපුල් තරංග පවසයි.

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අසනීප තත්ත්වයක්‌ හේතුවෙන් මෙම මාධ්‍ය හමුවට නොපැමිණි හෙයින් ඔහුගේ රාජකාරිය ඉටු කළ උපුල් තරංග වැඩිදුරටත් මෙසේ පැවසීය.

“සිම්බාබ්වේ තරගයේදී 388 ක්‌ වැනි ගාණක්‌ එලවල ගිහිල්ල ලබා ගැනීමෙන් අපේ කණ්‌ඩායමේ මාසිකත්වය ඉතාමත් හොඳ තත්ත්වයට පැමිණියා. ඉන්දියාව කියන්නෙ දැන් ලෝකයේ අංක එකේ කණ්‌ඩායම. අපි ඒ අයත් එක්‌ක ක්‍රීඩා කරන්න ඕන මොන වගේද කියල හැමදෙනාම හොඳින් දන්නවා.”

කෙසේ වෙතත් ලොව දග පන්දු යවන්නන් අතර අංක එකේ සිටින රවීන්ද්‍ර ජදේජා සහ අංක තුනේ සිටින රවීචන්ද්‍රන් අශ්වින්ට එරෙහිව පිතිකරුවන්ගේ මුවහත්වීම පිළිබඳවද තරංග එහිදී අදහස්‌ දැක්‌වීය.

“අපි හැමෝම දන්නවා ඉන්දියාව පසුගිය කාලයේ තරග ජයගත්තෙ මේ පන්දු යවන්නන් දෙදෙනා නිසා කියලා. පසුගිය සිම්බාබ්වේ තරගාවලියේදී අපි ගොඩක්‌ ක්‍රීඩා කළේ දග පන්දු යවන්නන්ට. ඒ අනූව අපේ සැලැස්‌මක්‌ තියෙනවා. කොහොම වුණත් අපි මීට පෙරත් ලෝකයේ අංක එකේ කණ්‌ඩායම වු ඔස්‌ටේ්‍රලියාව ලංකාවට ආපු වෙලාවෙ 3-0 කින් පරාජය කළා. ඒ නිසා අපිත් හොඳ සුදානමකින් ඉන්නවා.”

ටෙස්‌ට්‌ නායකයා වන දිනේෂ් චන්දිමාල් අසනීප වුවද ඔහුගේ අසනීප තත්ත්වය ඉදිරි දින දෙක තුනේදී සම්පුර්ණ සුව වන බවත් 26 වැනිදා ආරම්භ වන පළමු ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කරන බවත් ක්‍රිකට්‌ කළමණාකරු අසංක ගුරුසිංහ පවසයි. චන්දිමාල්ට ලොකු අසනීපයක්‌ නැහැ ඔහු අනිවාර්යයෙන් ක්‍රීඩා කරයි. ඒ වගේම අසේල ගුණරත්නත් පළමු තරගයට ක්‍රීඩා කරන්න පුළුවන් කියල භෞතචිකිත්සක වරයා කිව්වා.”


ලොව අංක එකේ ටෙස්‌ට්‌ කණ්‌ඩායම බවට පත්වුයේ පසුගිය මාස කිහිපයේදි කණ්‌ඩායමේ වුණ පරිවර්තනය නිසා බවත් එහිදී ලොකු කැපවීමක්‌ සහ පුහුණුවක්‌ ලැබීමෙන් එම තත්ත්වයට ලගා වු බවත් කෝලි පැවසීය.

ලොව කිසිම කණ්‌ඩායමක්‌ අඩු තක්‌සේරුවකට නොගන්නා බවත් තරගයකදී සැවොම එක හා සමානව සිතමින් ක්‍රීඩා කරන බවත් ඉන්දියානු නායකයා වැඩිදුරටත් පවසයි.

“අපි කාවවත් සුළුවෙන් තකන්නෙ නැහැ. කණ්‌ඩායමක ආබාධ කියන්නෙ සාමාන්‍ය දෙයක්‌. වැදගත් වන්නෙ එය කළමණාකරනය කිරීමයි.”

“ශ්‍රී ලංකාව කියන්නෙ අලංකාර රටක්‌. අපි කැමතියි මෙහි ක්‍රීඩා කරන්න. අපේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් හැම විටම සමබරව තියෙනවා. විශේෂයෙන් ලෝකයේ කොතැනක මොන තත්ත්වයක ක්‍රීඩා කළත් අපි අපේ ඉලක්‌කය වෙනුවෙන් සටන් කරනවා.”

“පසුගිය වතාවෙ අපි ශ්‍රී ලංකාවට පැමිණි වෙලාවෙ සංගක්‌කාර කණ්‌ඩායමේ හිටියා. ඒ වගේම මැතිව්ස්‌ සහ ධම්මික වගේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කළා.” යෑයි කෝලි පවසයි.

ඉන්දියානු කණ්‌ඩායමේ නව පුහුණුකරුවා වු රවී ශාස්‌ත්‍රීද මාධ්‍ය හමුවේදී මෙසේ පැවසීය. “මට ශ්‍රී ලංකාව හැම විටම මතකයේ තියෙනවා. මොකද 1994 මගේ පළමු විස්‌තර විචාරය කළෙත් ලංකාවෙ. දැන් මම පුහුණුකරු වුණාට පස්‌සෙ පළමු තරගාවලියට එන්නෙත් ශ්‍රී ලංකාවෙ.”

India - SL - Cricket - 2017.07.21

(අසේල විතාන-දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“ඔස්ට්‍රේලියාවත් අංක 1 කණ්ඩායම විදියට ඇවිත් 3-0 පැරදිලා ගියේ..” - තරංග"

    Post a Comment