21 July, 2017

ඉණෙන් පහළ අප්‍රාණික පුතු සුව කර ගන්න මාපියෝ උදවු ඉල්ලති

MA Deshika Nimneth Rajapakse

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කලුගහකඳුර ලාකඩගහඅරාවේ ගෙදර යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු හතර හමාරක් වන එම්. ඒ. දේශික නිම්නෙත් රාජපක්ෂ දරුවා දරුණු ස්නායු ආබාධයකට ලක්ව සිටී. උපන් දවසේ සිට ඉණෙන් පහළ අප්‍රාණිකව සිටින දරුවා සුව කර ගැනීමට මවුපියෝ දානපතීන්ගේ උපකාර පතති.

ආර්ථික දුෂ්කරතා හමුවේ තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බව පවසන එම්. ඒ. අනිල් රාජපක්ෂ මහතා (පියා),

"අපි ගොවිතැන් කටයුතු කරලයි දවස පිරිමහ ගන්නේ. මේ මගේ දෙවැනි දරුවා. උපන් දවසේ ඉඳලම පුතාගේ ඉණෙන් පහළ අප්‍රාණිකයි. දැන් දරුවට වයස අවුරුදු හතරහමාරයි. උපන්දා ඉඳන් බෙහෙත් කළත් මේ වන තෙක් සනීප කරගන්න බැරිවුණා. අපි ඉන්නේ නෝනාගේ මහ ගෙදරයි. අපිටම කියලා ඉන්න තැනක්වත් හදා ගන්න විදියක් නැහැ. හම්බ කරන හැම මුදලක්ම දරුවාගේ අසනීපයට යට කරන්න වෙලා. සෑම සතියේම බදුල්ල මහ රෝහලටත් මසකට සැරයක් කොළඹ රිජ්වේ ළමා රෝහලටත් දරුවා ගෙනියනවා. ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. මුදල් නොමැතිකමින් අපි දැඩි ලෙස අසරණ වෙලයි ඉන්නේ. අපිට උදවු කරන්න කෙනෙක් හිතනවා නම් මම ඉල්ලන්නේ අපේ දරුවා සනීප කරගන්න උදවු වෙන්න කියලයි.

ආර්. එම්. ශ්‍රී කාන්ති රත්නායක මහත්මිය (මව) අදහස් දක්වමින්

"මහත්තයාගේ ගොවිතැන් වැඩවලට උදවු වෙන්නවත් මට විදිහක් නැහැ දරුවාව දාලා යන්න විදිහක් නැති නිසා. හැම වෙලේම පුතා ළඟ ඉන්න ඕනි. මගේ ලොකු දුව මේ පාර ශිෂ්‍යත්ව විභාගය කරනවා. එයාට හරියට ඉගෙන ගන්න දෙන්න විදියක් නැතුව අපි හරියට දුක් වෙනවා. මොකද අසනීප දරුවාට ලොකු මුදලක් වැය වෙනවා. ඉතින් දුවගේ අධ්‍යාපනයට වියදම් කරන්න විදිහක් නැහැ. අපි හරිම දුප්පත්. අපි ඉල්ලන්නේ අපේ දරුවාව සනීප කරගන්න හැකි දානපතීන් ඉන්නවා නම් උදවු කරන්න කියලයි. ඒක ලොකු පිනක්"
ඇය කඳුළු අතරින් පැවැසීය.

මුදල් පරිත්‍යාග කරන්නේ නම් මීගහකිවුල මහජන බැංකුවේ ගිණුම් අංක 250200120047125 බැර කිරීමට හැකිය.

ඔවුන්ගේ දුරකතන අංක
055 - 5075937 වේ.

දෙමෝදර - ජයලත් දිසානායක (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉණෙන් පහළ අප්‍රාණික පුතු සුව කර ගන්න මාපියෝ උදවු ඉල්ලති "

    Post a Comment