08 July, 2017

පෙට්‍රෝල්, ඩීසල් මෝටර් රථ: ප්‍රංශයේ 'හරිත විප්ලවයක්'

Petrol - Diesel - Cars - France Green Revolution

2040 වසර වන විට පෙට්‍රල් හෝ ඩීසල්වලින් ධාවනය වන සියලුම මෝටර් රථ අලෙවි කිරීම තහනම් කරමින් හරිත 'විප්ලවයක්' දියත් කිරීමට ප්‍රංශය සූදානම් වෙයි.

නව වැඩපිළිවෙල නිවේදනය කරමින් පරිසර කටයුතු භාර අමාත්‍ය නිකොලා උලෝ (Nicolas Hulot) කියා සිටියේ, එය පැරිස් පරිසර සම්මුතියට ප්‍රංශයේ කැපවීම ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙලක කොටසක් බවය.

2050 වනවිට කාබන් මුදාහැරීමෙන් වියුක්ත රාජ්‍යයක් බවට පත්කිරීම ප්‍රංශයේ බලාපොරොත්තුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රංශයේ මෝටර් රථ කර්මාන්තයෙන් 3.5% ක් දෙමුහුන් මෝටර් රථ (Hybrid) වන අතර, ඒ අතරින් විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ තිබෙන්නේ 1.2% ක් පමණි.

2040 වන විට රටේ තිබෙන පෙට්‍රල් හෝ ඩීසල්වලින් ක්‍රියාත්මක වන මෝටර් රථවලට සිදුවන්නේ කුමක් දැයි යන්න මෙතෙක් පැහැදිලි නැත.

පරිසර කටයුතු පිළිබඳව හඬ නගන්නෙකු වශයෙන් ප්‍රසිද්ධ නිකොලා උලෝ, ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් පරිසර කටයුතු භාර අමාත්‍යවරයා ලෙසින් පත්කරනු ලැබිණ.
"අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු"

අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු - මැක්‍රෝන්

Emmanuel Macron-French Politician

පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීන්දුව මීට ඉහතදී දැඩි විවේචනයට ලක් කළ, ප්‍රංශයේ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් " මම හිතනවා එය ඒකාන්තයෙන්ම අත්වැරැද්දක් කියා, එක්සත් ජනපදයටත් ලෝකයටත් යන දෙකටම," යනුවෙන් පැවසීය.

"අප කොතැනක හිටියත්, අප කවුරු වුනත් අපට එක හා සමාන වගකීමක් පැවරෙනවා. අපි විශිෂ්ට ලොවක් යළි ගොඩනගමු," ජනාධිපති මැක්‍රෝන් පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශගුණ විපර්යාස මැඩලීම සඳහා වන සටන අත නොහරින බවට ප්‍රංශය සහතික වන බවය.

මේ අනුව පැරණි මෝටර් රථ ඉවත් කිරීම සඳහා දිළිඳු පවුල්වලට විශේෂ මූල්‍ය සහනයක් ලබා දෙන බවට නව පරිසර ඇමතිවරයා ප්‍රතිඥා දී තිබේ.

මේ අතර මේ සතිය මුලදී නිවේදනයක් නිකුත් කළ වොල්වෝ මෝටර් රථ සමාගම, 2019 සිට නිෂ්පාදනය කරන සියලුම මෝටර් රථ අඩුම වශයෙන් විදුලි බලය සහ ඉන්ධනවලින් ක්‍රියාකරන දෙමුහුන් රථ බව සඳහන් කළේය.

සිය ප්‍රකාශය අතරතුර ප්‍රංශයේ පරිසර කටයුතු භාර අමාත්‍ය නිකොලා උලෝ වොල්වෝ සමාගමේ පියවර පිළිබඳවත් සඳහන් කළේය. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පෙට්‍රෝල්, ඩීසල් මෝටර් රථ: ප්‍රංශයේ 'හරිත විප්ලවයක්'"

    Post a Comment