09 July, 2017

හීන නැති වුණත් ජීවිතයට මම හුඟාක් ආදරෙයි - ඒ අම්මා වෙනුවෙන් මම දවසක ජීවිතේ දිනනවා

Dulanjali - Samanala Thatu

සමනළ තටු - පුංචි නිළිය දැන් ලොකු කෙල්ලක්

දුලාංජලී මේ දිවස්වල හරියට වැඩ නේද?
අම්මෝ ඔව්... මම මේ අවුරුද්දේ අගෝස්තුවල A/L කරනවා. ඉතින් පාඩම් කරනවා. නෝට්ස් ලියනවා. මම කරන්නේ කලා අංශයෙන්. විෂයන් විදිහට මාධ්‍ය අධ්‍යයනය, ක්‍රිස්තියානි ධර්මය, ඉතිහාසයයි. මම O/L වලට ඒ හයයි බී එකයි සී දෙකක් ගත්තා.

විවේක වෙලාවට ඔයා මොනවගේ දේවල්ද කරන්නේ?
මේ දවස්වල නම් එක දිගට වගේ පාඩම් කරනවා. හැබැයි මම හරි ආසයි පොත් කියවන්න. (දුලාංජලීගේ කාමරයේ පොත් රාක්කේ ෂර්ලෝක් හෝම්ස්ගේ පොත් රාශියක්ම තිබුණා) ෆිල්ම් බලන්න ආසයි. යාළුවන් එක්ක කොහේ හරි යන්නත් හරි ආසයි. මම පරිගණයෙන් ග්‍රැෆික් කරන්නත් හරි ආසයි. ඒ වගේ දේවල් තමයි මම කරන්නේ.

ෆිල්ම් බලනකොට තාමත් ඉඳලා හිටලා සමනල තටු බලනවද?
ටී.වී. එකේ යද්දිනම් කට්ටිය මට කෝල් කරනවා. මම සමනල තටු බලන්න ආසයි. හැබැයි දැන් එන් ලජ්ජයි බලන්න. එතකොට මට වයස අවුරුදු නවයයි. කළුම කළු පාටයි නේද?

ෆිල්ම් එකට ඇඳුමක් කොළයක කපන දර්ශන එහෙම දුලාංජලීට අමතක වෙන්නේ නෑ නේද?
අම්මෝ ඔව්... රේණු නැද්දයි සෝමේ මාමයි මාව නිවාසෙට බලන්න ආපු වෙලාවේ මගෙන් ඇහුවා චිත්‍රපටයේ කොළයක ඇඳුමක් කපන්න තියෙනවා ඔයාට පුළුවන්ද කියලා. ඒකත් මම කරලා පෙන්නුවා. අඬන්න පුළුවන්ද ඇහුවා. ඒකත් මම කරලා පෙන්නුවා. කොහොමටත් මට මාව හදාගත්තු අම්මා ඒ පුංචි හැම දෙයක්ම කියලා දීලා තිබුණේ. ඉදිකට්ටට නූල දාන එකේ ඉඳන් පුංචි පබළු ඇට අමුණන්න පවා අත් දෙකම නැති පුංචි මට ඒ අම්මා කියලා දීලා තිබුණා.

සමනල තටු කරද්දී ඇයි අයියයි නංගියි රණ්ඩු වුණේ?
ඒ දවස්වල මම ගොඩාක් චූටියිනේ. මට හැමෝම උදවු කළා. දුලීකා නැන්දා සුමින්ද මාමා ගොඩක් උදවු කළා. මාවයි අයියවයි (දසුන්) හොඳට බලාගත්තා. රූගත කිරීම් නැතිවෙලාවේ මායි අයියයි ගොඩක් එකට හිටියා. අපි දෙන්නා රණ්ඩු කරනවා. තරහා වෙලා දෙන්නා කතා නොකර ඉන්නවා. මම බයිසිකලේ යන්න හරි බයයි. එක පාරක් දෙන්නා බයිසිකල් පැදලා මාව වැටුණා. එදා මම හොඳටම ඇඬුවා.

එතකොට අර පාන් කන්න ගිහින් මොකද වුණේ?
ඒකේ එක දර්ශනයක් තියෙනවා රෑ අපි හතරදෙනා පාන් කනවා. කොහොමහරි හැලියෙන් පරිප්පු එක බාපු ගමන් පාන් කෑල්ලක් මගේ කටට කවන දර්ශනයක් තමයි රෑගත කරන්න තිබුණේ. මම උණුවෙන් කෑම කන්නේ නෑ. දුලීකා නැන්දා පරිප්පු එකේ පාන් කෑල්ල ඔබලා මගේ කටට දැම්මා. මම එකා පාරටම ආ..ව්වා කියලා කෑ ගැහුවා. එදා කෑගැහිල්ලට හැමෝම බය වුණා. ආයේ පරිප්පු එක නිවලා තමයි ටේක් එක ගත්තේ.

දුලාංජලීගේ ඉස්කෝලේ යාළුවන්ගෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?
ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. ඉගෙනගන්නේ කටුකුරුන්දේ රොමානු මට කතෝලික මහ විද්‍යාලයෙන්. ඒක මිශ්‍ර පාසලක්. හැම කෙනෙක්ම උදවු කළා. මගේ රෝද පුටුව තල්ලු කරන් මාව ඉස්කෝලෙට එක්කන් ගියේ මගේ යාළුවෝ. පඩිපෙළ නඟින්න කට්ටියක් මාව උස්සගෙන තව කට්ටියක් රෝද පුටුව උස්සගෙන ඒ පන්තිවලට මාව අරගෙන යනවා. ඉස්කෝලේදී මම චිත්‍ර ඇන්දා. ඩ්‍රාමා කරා (දුලාංජලී පැන්සල අධාරයෙන් ඇදි චිත්‍ර කීපයක් රාමු කොට ඇගේ කාමරයේ බිත්ති පුරා දකින්නට ලැබුණා. එයින් ජේසුන් වහන්සේගේ රුව සහිත ඇය ඇඳි චිත්‍රය හරිම අපූරුයි)

දුලාංජලී මේ නිවසට ආවේ කොයි කාලේදිද?
මම මේ නිවාසයට ඇවිත් තියෙන්නේ මම ඉපඳුණු ගමන්මලු. මාව හදාගත්තු මගේ අම්මා කියපු විදිහට මාව මේ නිවාසයට ගෙනෙද්දී මට වයස සුමානයලු. මම හරි චූටි කළු කෙල්ලෙක්ලු. ඒ ගෙනාපු දවස්වල මම එක දවසක මුළු දවසම හොඳටම වමනෙ කරලා. මාව හදාගත්තු අම්මා හොඳටෝම බයවෙලා. ඊට පස්සේ මට ලොකු සෙරිලැක් කෝප්පයක් හදලා කවලා. ඒකම මම කාලා. ඊට පස්සේ මම කාලා තියෙන්නේ සෙරිලැක්.

දුලාංජලී කකුලෙන් අකුරු ලියන්න පුරුදු වුණේ කොහොමද?
ඒක මට හරියමට මතක නෑ. මම පොඩි අය අතින් අල්ලගෙන බලි අඳිනවා වගේ පොඩි කාලේ දකුණු කකුලෙන් බලි ඇන්දලු. ඒ නිසා මවා හදාගත්තු අම්මා මගේ දකුණු කකුලට පැන්සල දීලා ඒක එහෙම්මම පුරුදු කළාලු.

ඔයාව හදාගත්තු ඒ අම්මා ඔයාව දාලා ගියා නේද?
ඔව්... මාව හදාගත්තු අම්මා දැන් අවුරුදු දෙකකට කලින් නැතිවුණා. ඒ අම්මා පුදුමාකාර අම්මා කෙනෙක්. මම වගේ දරුවෙක් හදාගන්න බාරගත්තු එකටත් ඒ අම්මාට ස්තූතිවන්ත වෙන්න ඕනේ. මම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා. A/L කරන අවුරුද්දේ තමයි අම්මා අසනීප වෙලා නැතිවුණේ. ඒ නිසා මට පළවෙනි පාර A/L හරියට කරගන්න බැරිවුණා. අම්මාගේ ලොකුම බලාපොරොත්තුව වුණේ මට හොඳට උගන්නන්න. මාව හදාගත්තු අම්මා නැති පාළුව අදටත් මට හොඳටම දැනෙනවා.

දුලාංජලීගේ බලාපොරොත්තුව මොකක්ද?
අනේ මන්දා... මම දන්නවා හීනයක් තියෙන්න ඕනෙ කියලා. ඒත් හීනයක් ගැන මට හිතන්න අමාරැයි. මම මුලින්ම අධ්‍යාපනය හොඳට කරගන්න ඕන. විභාගයෙන් පස්සේ මම මොකක්ද තෝරගන්න ඕනේ කියලා මම තාම දන්නේ නෑ. මේක ලේසි පහසු දෙයක් නෙවේ. එක දිගට රෝද පුටුවේ වාඩිවෙලා ලියාගෙන යද්දී පැය දෙකතුනක් ඉදිද්දී මේ ඇඟම රිදෙනවා. ඒත්... මට දැන් මේ ජීවිතේ හුරුයි. මම ජීවිතේට ආදරෙයි. මට ජීවිතේට ආදරේ කරන්න ඉගැන්නුවේ මාව හදාගත්තු අම්මා. ඒ අම්මා වෙනුවෙන් මම දවසක ජීවිතේ දිනනවා.

Dulanjali - Samanala Thatu - 02

► Text – Dishani / Pic - Sumudu (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හීන නැති වුණත් ජීවිතයට මම හුඟාක් ආදරෙයි - ඒ අම්මා වෙනුවෙන් මම දවසක ජීවිතේ දිනනවා"

    Post a Comment