09 July, 2017

මම සංගාගෙන් පටන් අරන් ජයසූරියගෙන් ඉවර කළා - කොල්ලො ක්‍රිකට්‌ අතහරින කොට චමරි ගහපු ගේම

Chamari Atapattu - 02

  • කොල්ලො ක්‍රිකට්‌ අතහරින කොට චමරි එංගලන්තයේ ඉඳන් ගහපු ගේම...
  • කට්‌ටිය මගෙන් ඉල්ලන්නේ ඇන්කර් ඉනිමක්‌...

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කිව්වොත් මතක්‌ වෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්‌ ප්‍රමුඛ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට්‌ කණ්‌ඩායමයි. 

ඒත් චමරි අතපත්තු විසින් ඕස්ට්‍රේලියානු කාන්තා පිලට එරෙහිව නොදැවී වාර්තා කරන ලද ලකුණු 178 ත් සමගින් අපේ රටේ කාන්තා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමකුත් තියෙනවා කියන එක පසුගිය සතියේ ආයෙත් කරළියට ආවා. 

චමරි විසින් වාර්තා කරන ලද ඒ ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ ලොව තෙවැනියට වැඩිම කාන්තා එක්‌දින ලකුණු සංඛ්‍යාව වශයෙනි. 

හයේ පහර 6 කින් සහ හතරේ පහර 22 කින් වර්ණවත් වූ ඒ ලකුණු සංඛ්‍යාව සඳහා චමරිට වැය වී තිබුණේ පන්දු 143 ක්‌ වීමද විශේෂත්වයක්‌ වුණා. 

ඒ නිසාම මේ ඉනිම ගැන අහන්න එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට සහභාගී වී සිටින චමරි අතපත්තුට අපි කතා කළා..

► ලෝකයක්‌ කතාකරන ඉනිමක්‌ දියත් කළා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන කියාගන්න බැරි තරමේ සතුටක්‌ තියෙනවා. පසුගිය කාලේ ලකුණු අතර හිටියා. ඒක මේ ලකුණු ගහන්න ලොකු පහසුවක්‌ වුණා.

► මෙවැනි ලොකු ඉනිමක්‌ ගහන්න හීනයක්‌ තිබුණා නේද?

අනිවාර්යයෙන්ම. ඒ ඉනිම ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කරන්න ලැබුණ එක ගොඩක්‌ වටිනවා.

► මෙච්චර ඉක්‌මනට ඒකට යන්න පුළුවන්වෙයි කියලා හිතුණද?

බලාපොරොත්තුවක්‌ තිබුණා ලොකු ඉනිමකට යන්න. නවසීලන්ත තරගයේ 53 ක්‌ ගැහුවා. පුහුණු තරග වලදීත් හොඳට කළා. ඒ නිසා ශතකයකට යන්න අවස්‌ථාවක්‌ තියෙනවා කියලා මට හිතුනා.

► බෝල 143 කට ලකුණු 178 ක්‌. ඒක ලේසි නෑ?

අපේ කණ්‌ඩායමේ අය මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇන්කර් ඉනිමක්‌. මං එක පැත්තක තියාගෙන විකට්‌ එකේ හිටියා. අන්තිමට තමයි විකට්‌ යද්දි පාරවල් වලට ගියේ.

► 200 කට යන්න තිබුණා නේද?

තව පන්දුවාරයක්‌ හෝ දෙකක්‌ පන්දුවට පහරදෙන්න පුළුවන් වුණානම් අනිවාර්යයෙන් 200ට යන්න තිබුණා.

► මුලින් හරි සන්සුන්ව පන්දුවට පහරදුන් චමරි අන්තිමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් අසරණ කළා?

මුලින් මං හිමිට සෙල්ලම් කළේ. පස්‌සේ බෝලේ පේන්න ගත්තාම පාරවල් වැදුණා හොඳට. හරියට මුලින් සංගක්‌කාර වගේ පටන් අරගෙන අන්තිමට ජයසූරිය වගේ ඉවර කළා.

► හයේ පාරවල් 6 ක්‌ වැදුණා. ඒ පාරවල් තක්‌කෙටම වැදුණා කිව්වොත්?

ඔව්. හිතාගෙන් හිටිය විදිහට පාරවල් ටික හොඳටම වැදුණා.

► ඔබ තමයි ශ්‍රී ලංකාවේ ශතකයක්‌ ගහපු එකම ක්‍රීඩිකාව. දැන් ශතක තුනයි.?

ශතක තුනයි. මේ ශතකය ඒ අතරින් ගොඩක්‌ වැදගත් වෙනවා. මං කැමතියි ඉක්‌මනින්ම අපේ ටීම් එකේ ක්‍රීඩිකාවන් ශතකයේ සීමාවට ඉක්‌මනින්ම එනවට.

► ඒ කොහොම වුණත් මැච් එක පරාද වෙනවා?

ඒ ගැන ලොකු කනගාටුවක්‌ තියෙනවා. අපි තව ලකුණු 20 ක්‌ 30 ක්‌ ගැහුවනම් අපිට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක්‌ තියාගන්න තිබුණා.

► ටීම් එකේ සාමාජිකාවන් මොකද කිව්වේ?

හැමෝම ගොඩක්‌ සතුටු වුණා. අපි ඕස්ට්‍රේලියාවට ලකුණු 250 ක්‌ ගැහුවේ පළවෙනි වතාවට.

► ඔබ ආරම්භක පිතිකාරිණිය වශයෙන් ක්‍රීඩා කරනවාට වඩා අංක 3 ස්‌ථානයේ හොදට බැට්‌ කරනවා කිව්වොත්?

මං ආරම්භක පිතිකාරිණීය හැටියටත්, අංක තුන පිතිකාරිණිය හැටියටත් හොඳට කරලා තියෙනවා. ඒ නිසා වැඩි වෙනසක්‌ නෑ. ඒ ස්‌ථාන දෙකේම.

► එංගලන්තයේ සීතල අමාරු නැද්ද?

ටිකක්‌ අමාරුයි. එහෙමයි කියලා බෑ. අපි අපේ උපරිමය කණ්‌ඩායම වෙනුවෙන් කරන්න ඕනේ.

► ඉදිරියේදී තව මැච් කිහිපයක්‌ම තියෙනවා?

ඒ තරග වලටත් කණ්‌ඩායමට උපරිමය ලබදෙන්න තමයි බලාපොරොත්තුව.

► දැන් ටිකක්‌ බෝල් කරනවා අඩුයිද?

එහෙම නෑ. කණ්‌ඩායමේ අවශ්‍යතාව අනුව මං පන්දු යවනවා. එදා මැච් එකේදිත් එක්‌ පන්දුවාරයක්‌ යෑව්වා.

► මේ පිතිප්‍රහාරය දැකලා බිග්බෑෂ්, එංගලන්ත ප්‍රිමියර් තරගාවලියට ඇරයුමක්‌ ලැබුණොත්?

එහෙම ලැබුණොත් ක්‍රිකට්‌ ආයතනයේ අනුමැතිය ඇතිව ඒවාට සහභාගී වෙනවා. මාත් හිතනවා අවස්‌ථාවක්‌ ලැබෙයි කියලා.

► එදා මැච් එකෙන් පසසේ කාටද මුලින්ම කතා කළේ?

අම්මට

► අම්මා මොකද කිව්වේ?

රූම් එකට ආපු ගමන් අම්මාට කතා කළේ. ඇයට ගොඩක්‌ සතුටුයි. ඉතිරි මැච් ටිකත් හොදට කරන්න කිව්වා.

ගයාශාන් විතානආරච්චි (divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම සංගාගෙන් පටන් අරන් ජයසූරියගෙන් ඉවර කළා - කොල්ලො ක්‍රිකට්‌ අතහරින කොට චමරි ගහපු ගේම"

    Post a Comment