21 July, 2017

ලින්කින් පාක් ගායක චෙස්ටර් සමුගනී

Chester Bennington - Linkin park

ලොව පුරා ඉමහත් රසික ආදරයක් දිනූ ලින්කින්පාක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායක චෙස්ටර් බෙනින්ටන් අභාවප්‍රාප්ත වුණා.

ලොස්ඇන්ජලිස්හි පිහිටි සිය නිවසේදී ඔහු සියදිවි නසාගෙන තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 41 ක්.

චෙස්ටර් සියදිවි නසාගන්න විට ඔහුගේ නිවසේ වෙනත් කිසිවෙකුත් සිට නැති අතර, නිවසට පැමිණි සේවකයෙකු විසින් මියගොස් සිටින චෙස්ටර්ගේ සිරුර සොයාගෙන තිබෙනවා.

1976 වසරේ මාර්තු 20 උපන් චෙස්ටර් Depeche Mode සහ Stone Temple Pilots යන සංගීත කණ්ඩායම්වලින් තම ගායන දිවිය ආරම්භ කළා.

වෘතියෙන් හෙදියක් වූ මවත්, පොලිස් පරීක්ෂකයෙකු වූ පියාත් ඔහුට වයස අවුරුදු 11 දී දික්කසාද වූ අතර චෙස්ටර් සිය පියාගේ භාරයට පත්වුණා.

එතැන් පටන් ගත වූ වසර 5 ක් ම තම මව නොමැති දුක ඔහු තුනී කළේ මරිජුවානා මත්ද්‍රව්‍යයෙන්.

මරිජුවානාවලින් ආරම්භවනා ඔහුගේ මත්ද්‍රව්‍ය චාරිකාව, තවත් මත්ද්‍රව්‍ය රැසක් දක්වා විහිදෙන්නේ ඔහුගේ සංගීත චාරිකාවට ද පසුබෑම් එල්ල කරමින්.

වයස අවුරුදු 17 වන විට යළිත් සිය මවගේ භාරයට පත්වන ඔහු මරිජුවානා ඇබ්බැහියෙන් මිදුණේ ඇගේ උපකාරයෙන්.

ඉතා හැලහැප්පීම් සහිත ළමා දිවියක් ගතකළ චෙස්ටර්, ඔහු ජනප්‍රියත්වයට පත්වූ පසුව පවතී සම්මුඛ සාකච්චාවකදී, තමා වයස අවුරුදු 7 දී, වැඩිහිටි පිරිමියෙකුගෙන් ලිංගික අතවරයට ලක්වූ බවත්, එය ඔහුට වයස අවුරුදු 13 දක්වාම පැවති බවත්, එනිසාම ඔහු සියදිවි නසාගැනීමට පවා උත්සහ කළ බවත් කියා සිටියා.

විවාහ දෙකකින් ලද දරුවන් සය දෙනෙකු සිටි චෙස්ටර්, අධික ලෙස බීමට ඇබ්බැහි වී සිටි අතර ඉන් මිදීම සඳහා පසු කාලීනව උපදේශන සේවාවල පිහිට පැතුවා.

Grey Daze සංගීත කණ්ඩායම සමඟ ගායකයෙකු ලෙසට කටයුතු කළ චෙස්ටර් ඔවුන් සමඟ Demo (1993), Wake Me in (1994), සහ no sun today (1997) යන ගීත එකතු එළි දැක්වුවා.

1998 වසරේදී චෙස්ටර් Grey Daze අතහැර යන්නේ මත ගැටුම් කිහිපයක ප්‍රතිපලයක් ලෙසටයි.

1996 වසරේදී ආරම්භ වූ ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙසට චෙස්ටර් පත්වන්නේ 1999 වසරේදී.

2005 වසරේදී තවත් ගායකයන් කිහිපදෙනෙකු සමඟ Dead by Sunrise කණ්ඩායම නිර්මාණය කළ චෙස්ටර්, ලින්කින් පාක් කණ්ඩායමේ මෙන් ම මෙහි ද ප්‍රධාන ගායකයා ලෙසට වරින්වර කටයුතු කළා.

ලින්කින් පාක් යයි කියූ සැනින් චෙස්ටර් මතකයට එන තරමටම ඔහුගේ හඬ ගී ලොව ජය ගත්තේ ලින්කින් පාක් කණ්ඩායමම ජනප්‍රියත්වයේ මුදුනටම ඔසවා තබමින්.

ලින්කින් පාක් කණ්ඩායමේ ගීත ඇල්බම මිලියන 70ක් පමණ ලොව පුරා අලෙවි වී ඇති අතර ඔවුන් ග්‍රැමී ඇතුළු සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබෙනවා.

චෙස්ටර්ගේ හඬින් ගැයුණු අවසන් ගීය “Riders on the Storm” 2010 වසරේදී නිර්මාණය වූ අතර ඉන් පසුව චෙස්ටර් විසින් ඔහුගේ පැරණි ගීත වරින් වර නව සංගීතය මුසු කරමින් ගායනා කළා.



2016 වසරේදී අවසන් වතාවට මාධ්‍ය හමුවට ආ චෙස්ටර් යළි කිසිදා මත්පැනට හුරු වීමේ බලාපොරොත්තුවක් තමන් තුළ නොමැති බව කියා සිටියා.

රොක් සහ මෙට්ල් සංගීතය එතරම් හුරු නොවූ ශ්‍රී ලාංකික සංගීත ලෝලීන්ට, රොක් සහ මෙට්ල් රසය හුරු කළේ ලින්කින් පාක් සහ චෙස්ටර් යයි කීම වැරදි නැහැ.

ඔවුන්ගේ numb ගීතය අදත් ශ්‍රී ලාංකික බටහිර සංගීතය රසවිඳින්නන් අතර ජනප්‍රියත්වය අඩු නොවූ ගීතයක්.



(janayugaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලින්කින් පාක් ගායක චෙස්ටර් සමුගනී"

    Post a Comment