10 July, 2017

තොරතුරු වසන් කරයි බැඳුම්කර නිකුත් කරයි - මහ බැංකු වාර්තාවෙන් හෙළිවන රහස්‌ 5...!!!

Central Bank - CBSL - 02

ශ්‍රී ලංකා ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 154(1) වගන්තිය යටතේ රාජ්‍ය ආයතනවල ගනුදෙනු පිළිබඳ වාර්ෂිකව විගණන වාර්තාවක්‌ සැපයිය යුතුය. ඒ අනුව 2016 වර්ෂයේ මුදල් අමාත්‍යාංශයේ ගනුදෙනු සහ ගිණුම් පිළිබඳ විගණන වාර්තාව 2017 මැයි 31 වැනි දින විගණකාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉදිරිපත් කර ඇත.

මෙම විගණන වාර්තාවේ විගණකාධිපතිවරයා 2016 මුදල් අමාත්‍යාංශයේ ගිණුම් පිළිබඳව සිය නිරීක්‍ෂණය දන්වා ඇත. එම නිරීක්‍ෂණයන් මත විගණකාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ගිණුම්වල පිළිගැනීමට ඇති හැකියාව පිළිබඳව තම මතය ප්‍රකාශ කිරීමට අපොහොසත් බව ප්‍රකාශ කරයි. විගණකාධිපතිවරයාට තම මතය ප්‍රකාශ කිරීමට තරම් පිළිගත හැකි සාක්‌ෂි සහ තොරතුරු ඉදිරිපත් වී නැති බව මේ අනුව පැහැදිළි වේ. එහි විගණකාධිපතිවරයාගේ නීරීක්‍ෂණ අනුව මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථීකය පිළිබඳව මහජනතාවට හෙළිකළ ඇතැම් තොරතුරු සාවද්‍ය බව පැහැදිලි වේ. ශ්‍රී ලංකාවේ ආර්ථීකය පිළිබඳ රටේ ජනතාවට විශේෂයෙන් ආයෝජකයන්ට මෙන්ම විදේශීය මූල්‍ය ආයතන වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට සහ විදේශීය ආයෝජකයන්ට සත්‍ය හා නිවැරදි තොරතුරු ලබාදීම රජයේ මෙන්ම මහ බැංකුවේද මූලික වගකීමකි.

රාජ්‍ය ණය රතු ඉර පනී

විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් පෙන්වන මූලික කරුණ වන්නේ මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවල සඳහන් රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8794 ක්‌ වුවද එය තවත් රුපියල් බිලියන 826 කින් අඩුව සඳහන් කර ඇති බවයි. මෙලෙස රුපියල් බිලියන 826 කින් රාජ්‍ය ණය අඩුවීම පහත සඳහන් මූලාශ්‍රයන් සම්බන්ධව සිදු වී ඇත.

1) 2016 නිකුත් කළ භාණ්‌ඩාගාර බැඳුම්කරවල වටිනාකම එහි මූණත වටිනාකම මත ගණනය කර ඇතත් 2016 ට පෙර වර්ෂවල නිකුත් කළ භාණ්‌ඩාගාර බැඳුම්කරවල වටිනාකම ගණනය කර ඇත්තේ ඒවායේ මුහුණත වටිනාකම මත නොව වට්‌ටම් කළ වටිනාකම මත බව. ඒ අනුව භාණ්‌ඩාගාර බැඳුම්කරවල මුළු වටිනාකම රුපියල් බිලියන 487 කින් අඩුකොට දක්‌වා ඇත.

2) රජය විසින් විදේශීය ණය ගිවිසුම් 07 ක්‌ යටතේ ලබාගත් රුපියල් බිලියන 332.3 ක්‌ වටිනාකමක්‌ ඇති විදේශීය ණය ගිණුම් වාර්තාවල සඳහන් නොවන බව.

3) ආරක්‍ෂක අමාත්‍යාංශය සහ තවත් බැංකු 04 ක්‌ ලබා ගත් රුපියල් බිලියන 7.6 ක ණය ගිණුම් වාර්තාවල හඳුනාගත නොහැකි බව.

විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කළ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9347.3 ක්‌ නොව රුපියල් බිලියන 9864.5 කි. එය පහත සඳහන් පරිදි වේ.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළ රාජ්‍ය ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 517.2 කින් රාජ්‍ය ණය වැඩි වී ඇති බව හෙළි වේ. රටේ දළ දේශීය නිෂ්පාදනය 2016 දී රුපියල් බිලියන 11,839 කි. රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 9864.5 ක්‌ වන නිසා එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස ගණනය කළ විට එහි අනුපාතය 83.3% කි. ඒත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව පෙන්වන්නේ රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස ගත් කල 79.3% ක්‌ ලෙසය.

රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස ගත් කල එය 80% ට අඩු අගයකින් පවත්වාගෙන යැම සාර්ථක රාජ්‍ය ආදායම් කළමනාකරණ නිර්ණායකයකි. මෙය දේශීය මෙන්ම ජාත්‍යන්තරවද පිළිගත් සංකල්පයකි. 2003 අංක 3 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත සම්බන්ධ 2013 අංක 15 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) සංශෝධිත පනත අනුව රජයේ සියලු වගකීම් දළ දේශීය නිෂ්පාදනයේ වටිනාකම 80% නොඉක්‌ම විය යුතුය යන්න මනාව සඳහන් කර ඇත. තවද, ජාත්‍යන්තර ණය ශ්‍රෝණිගත කරන ආයතන රජයේ වගකීම එම රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 80% ඉක්‌මවන රටවල් අවිනිශ්චිත භාවයකින් යුතු රටවල් ලෙස පිළිගනී.

අයවැය හිඟය ඉහළට

2016 දී රටේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‌ෂව 5.63% ක්‌ බව විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත. එය ඉහත සඳහන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුව එහි ප්‍රශස්‌ත අගය වූ 5% ඉක්‌මවා යැමකි. මෙම තත්ත්වය 2015 වසරේදී ද විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් කරුණු දක්‌වා ඇත. 2015 විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයේ 10.5% කි. එහෙත් 2015 සහ 2016 මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ. අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂව 2015 දී 7.6% ක්‌ ලෙසත් 2016 දී එය 5.4% ක්‌ ලෙසත් විකෘතිකර සඳහන් කර ඇත.

මන්දගාමී ආර්ථීක වර්ධනය

තවද, 2016 වර්ෂයේ රටේ ආර්ථීක වර්ධන වේගය 4.4% ක්‌ ලෙස මහ බැංකු වාර්තාව පෙන්වුවද එහි සත්‍ය අගය වන්නේ 2.2% ක්‌ බව ආර්ථික විද්‍යාඥයන් ඔප්පුකර ඇත. 2016 ආර්ථික වර්ධන වේගය 4.4% ක්‌ ලෙස ගණනය කර ඇත්තේ 2015 ප්‍රකාශයට පත්කළ දළ දේශීය නිෂ්පාදිතයේ අගය රුපියල් බිලියන 231 කින් අඩුකීරීමෙන් සහ 2015 රටේ උද්ධමනය මනින එක්‌ නිර්ණායකයක්‌ වූ දළ දේශීය නිෂ්පාදන අවධමනකය 0.8 ක්‌ ලෙස වෙනස්‌ කිරීමෙනි.

සේවා වියුක්‌ති සංඛ්‍යා සාවද්‍යයි

එමෙන්ම 2016 වර්ෂයේ රටේ සේවා වියුක්‌තිය 4.4 ක්‌ ලෙස පෙන්වුවද, එහි සැබෑ වටිනාකම මීට වඩා ඉහළ අගයක්‌ ගන්නා බව 2015 සහ 2016 මහ බැංකු වාර්තාවල මීට සම්බන්ධ තොරතුරු අධ්‍යයනය කිරීමෙන් මනාව පැහැදිළි වේ.

රජය මෙලෙස තාවකාලික හෝ තොරතුරු සැඟවීමට ගන්නා උත්සාහය සාර්ථක වුවද එය දිගුකාලීනව රටට අවාසිදායකය. විගණකාධිපතිවරයා තම වාර්තාව සැකසීම අතරතුරේදී මුදල් අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා මහ බැංකුවට කරුණු පෙන්වා දීම ප්‍රායෝගික කරුණකි. එසේ වුවද, රජය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය, අයවැය හිඟය, ආර්ථික වර්ධන වේගය සහ සේවා වියුක්‌තිය පිළිබඳව නිවැරදි නොවන තොරතුරු රටටත්, ජාත්‍යන්තරයටත් ඉදිරිපත් කර ඇත.

නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර අනතුරේ

විගණකාධිපතිවරයා තම විගණනයන් මඟින් හෙළිවන තොරතුරු මුදල් අමාත්‍යාංශයටත් මහ බැංකුවටත් දැනුවත් කරන අතරතුරදී රජය 2017 මැයි 06 වැනි දින ඩොලර් බිලියන 1.5 ක්‌ වටිනා ජාත්‍යන්තර ස්‌වෛරීත්වය බැඳුම්කර නිකුත් කළේය. ඒ සඳහා යොදා ගනු ලැබුවේ 2015 සහ 2016 වාර්තාවල සඳහන් සාවද්‍ය සංඛ්‍යාමය තොරතුරුය. ජාත්‍යන්තර ස්‌වෛරීත්වය බැඳුම්කරය නිකුත් කිරීමේදී එහි ආයෝජකයන් සඳහා ඉදිරිපත් කරන තොරතුරුවල පහත සඳහන් ගුණාංග තිබිය යුතුය.

1) බැඳුම්කරය නිකුත් කිරීමට අදාළ සියලු තොරතුරු බැඳුම්කරය පිරිනමන්නා (ශ්‍රී ලංකා රජය) හෙළිකළ බව.

2) ඉදිරිපත් කළ සියලු තොරතුරු සත්‍ය හා නිවැරදි බව.

3) ඉදිරිපත් කරන තොරතුරු නොමඟ නොයන බව.

4) ඉදිරිපත් කරන මතයන් සහ අවශ්‍ය තොරතුරු අවංකව ඉදිරිපත් කරන බව.

5) තොරතුරු ඉදිරිපත් කිරීමේදී අත්හැරීම් හෝ ඊට අදාළ අනෙකුත් තොරතුරු නොමැති බව.

6) බැඳුම්කරය පිරිනමන්නා තොරතුරු පිළිබඳ සියලු වගකීම් භාරගන්නා බව.

නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම රජයේ වගකීමයි

මේ අනුව රජය සාවද්‍ය තොරතුරු රටටත්, ජාත්‍යන්තර ආයෝජකයන්ටත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලටත් ඉදිරිපත් කර ඇති බව පැහැදිලි වේ. එය රටට කෙටිකාලීනව වාසිදායක වුවත් දිගුකාලීනව ඉතා අවාසිදායක වේ. ආර්ජන්ටිනාව සහ ග්‍රීසිය යන රටවල් තම රටෙහි ආර්ථික අර්බුද හමුවෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් ලෝක බැංකුවටත් ආයෝජකයන්ටත් ඉදිරිපත් කළේ සාවද්‍ය තොරතුරුය. එම අදූරදර්ශී ප්‍රතිපත්තිය නිසා ලෝකයේ සෙසු රටවල් ආර්ජන්ටිනාව සහ ග්‍රීසිය සමග ආර්ථීකමය සම්බන්ධතා සීමාකරන ලදී. අවසානයේ සිදු වූයේ එම රටවල්වල ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටීමය.

ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට රජයක්‌ විසින් සත්‍ය වූත් නිවැරදි වූත් තොරතුරු ඉතා වගකීමෙන් සැපයිය යුතුය. රටකට දිගුකාලීන ආර්ථීක සංවර්ධනයක්‌ ළගා කර ගත හැක්‌කේ දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම තුළින්ය. මා විසින් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් හෙළිවන රහස්‌ යටතේ පළකළ ලිපි පෙළෙහි මූලික අරමුණ වූයේ රජයටත් සමාජයටත් මෙම පණිවුඩය ලබාදීමයි.

ඔස්‌මන් චන්ද්‍රවංශ
හිටපු විනිමය පාලක සහ ජ්‍යෙෂ්ඨ අර්ථශාස්‌ත්‍රඥ (divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තොරතුරු වසන් කරයි බැඳුම්කර නිකුත් කරයි - මහ බැංකු වාර්තාවෙන් හෙළිවන රහස්‌ 5...!!!"

    Post a Comment