25 June, 2017

'සමනල සන්ධ්වනිය' තුළින් හඳුනාගත් සූර්යා දයාරුවන්

Soorya Dayaruwan - 01

"සමනල සන්ධ්වනිය" චිත්‍රපටය තුළින් ඔබ හඳුනාගත් ඔහු රංගන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂකයන් අතරට පැමිණියේය. ඔහු ගායකයෙකු වන අතර, ඔහුගේ නවතම ගීතය මෙම සතියේ දී ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට සූදානමින් සිටියි. ඔහු සූර්යා දයාරුවන්ය. මේ කතාබහ ඔහු සමගය.

සූර්යාගේ නවතම ගීතය ගැන මුලින්ම කතා කරමු?

මේ ගීතයේ නම "මගේ නේ", කම්පෝස් කළේ මංජුල බණ්ඩාර, ගීතය රචනා කළේ කසුන් මහේන්ද්‍ර හීනටිගල. මෙය මගේ දෙවන මියුසික් වීඩියෝව. මේ ගීතයේ රූප රචනාව අධ්‍යක්ෂණය කළේ තිසර ඉඹුලාන. මනීෂා චංචලා දායක වූ මෙම රූප රචනාව වෙනස්ම ආකාරයක රූප රචනාවක්. මේ ගීතය ගැන කිව්වොත්, මේ ගීතය ආදරය ගැන වෙනස්ම විදිහට ලියවුණ ගීතයක්. මේ ගීතයේ මම කැමති පද පෙළක් තියනවා. ඒ “හින හෙන්න ළං වෙන්න අත් අල්ලගෙන ඉන්න ආදරෙන් මගේ නේ” කෙනෙක්ට කරන ආදරයේ ඇති සුන්දරත්වය ඒ දැනෙන අපුරු හැඟීම මේ ගීතයේ සංගීතයත් එක්ක අපූරුවට දැනෙයි කියලා මම හිතනවා. මේ ගීතයේ රූප රචනාවලට පවා මගේ මිතුරන් ගොඩක් උදව් කළා. ඔවුන්වත් මතක් කළ යුතුයි.

ඔබගේ ගීත කිහිපයක්ම තිබෙනවා. ඇයි මේ ගීතයටම රූප රචනාවක් කරන්න හිතුවේ?

මම ගායනා කළ ගීත විසිපහක් පමණ තිබෙනවා. ඒ ගීත විසිපහෙන් කිහිපයක්ම ටෙලි නාට්‍යය හා චිත්‍රපට ගීත. ගීත දොළහක් පමණ ඇති. අනෙක් ගීතවලට වඩා මම මේ ගීතයට වැඩි කැමැත්තක් දක්වනවා. මේ ගීතය රසිකයන්ට අහන්න දෙන්න ඕන කියලා මම හිතුවා. ඒ නිසයි මෙය නිර්මාණය කළේ. මම කාලය ගැන එතරම් හිතුවෙ නෑ. අලුත් නිර්මාණයක් බලාපොරොත්තු වුණ අයට මේ සතියේ ඒ අත්දැකීම විඳින්න ලැබෙයි.

ඔබ බොහෝ දෙනෙක් හඳුනා ගන්නේ රංගන ශිල්පියෙකු ලෙස. රංගන ශිල්පියෙකු ලෙස සිදුවන වැඩකටයුතු මොනවද?

මම මේ වනවිට චිත්‍රපට තුනකට දායක වෙලා තියෙනවා. ඒ, "කාල", "තානාපතිලා ගෙදර" හා "සරුංගලය" යන චිත්‍රපට. ටෙලි නාට්‍යය අටකට පමණ දායකත්වය ලබා දී තිබෙනවා. ෂර්ල් පී දෙලංකාවල අධ්‍යක්ෂණය කළ "හිතුවක්කාරයා" කියන ටෙලි නාට්‍යය මේ මස 21 වැනිදා සිට "ටීවි වන්" තුළින් විකාශය වෙනවා. මම ගායකයෙක්, රංගන ශිල්පියෙක් ලෙස තමයි බොහෝ දෙනෙක් හඳුන ගන්නේ. නිවේදන කටයුත්තකුත් ආරම්භ කළා. ඒ ජාතික රූපවාහිනියේ %අමුත්තා^ කියන වැඩසටහන තුළින්. එය ලබන මස සිට රාත්‍රි 7.00ට විකාශය වෙනවා. ජීවිතේ දිනපු චරිත ගැන අපි මේ වැඩ සටහන හරහා කතා කරනවා. මා තුළ තිබෙන නිවේදන හැකියාවත් ප්‍රේක්ෂකයන්ට මෙහිදී බලාගන්න පුළුවන්.

චිත්‍රපට හා ටෙලි නාට්‍යය ක්ෂේත්‍ර දෙක තුළම කටයුතු කිරීම ගැන තෘප්තිමත්ද?

මම චිත්‍රපට, ටෙලි නාට්‍යය කියලා බලන්නෙ නෑ. හොඳ නිර්මාණවලට දායක වෙනවා. එවැනි නිර්මාණවලට මම කැමැත්තෙන් දායක වෙනවා. මම නිර්මාණයට සාධාරණයක් කරන්න උත්සහ කරනවා. මේ හැමදේම නිරවුල්ව කරගෙන යනවා. ඒ වගේම මගේ ඉගෙන ගන්න කටයුතුත් කරගෙන යනවා.

ඔබ තෝරගන්න නිර්මාණ තුළ ජනප්‍රියත්වය කියන කාරණයට කොච්චර ඉඩක් තියෙනවද?

මම නිර්මාණයක් භාරගනිද්දි ජනප්‍රියත්වය ගැන එතරම් හිතන කෙනෙක් නෙමෙයි. මට වැදගත් වෙන්නේ නිර්මාණය. ඒ නිර්මාණයට කොතරම් සාධාරණයක් කරන්න පුළුවන්ද කියන දේ තමයි මම බලන්නේ. එහෙම හිතලා කටයුතු කළාම නිර්මාණය දකින ප්‍රේක්ෂකයන් අතර නොදැනුවත්වම ජනප්‍රි‘යත්වයට පත්වෙනවා. මගේ අලුත්ම ටෙලි නාට්‍යය තමයි %හිතුවක්කාරයා^ චිත්‍ර ශිල්පියෙකු ලෙස මම මෙහි රඟපානවා. ඒ චරිතය නිරූපණය කළාට පසු ප්‍රේක්ෂකයන්ගේ වැඩි ආකර්ෂණයක් ලැබෙයි. ජනප්‍රියත්වයට වඩා මම චරිතයට දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

soorya dayaruwan - 02

නිදුක් මදුෂික (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'සමනල සන්ධ්වනිය' තුළින් හඳුනාගත් සූර්යා දයාරුවන්"

    Post a Comment