26 June, 2017

නතාෂාත් ළඟදීම සැමියාගෙන් ඈතට - රට හැර යාමට සැරසෙයි

Nathasha Perera-03

නතාෂා පෙරේරා ගැන අමුතුවෙන් හැඳින්වීම් මොකටද? ඇය රටේම ආදරය දිනා ගත්තේ පුංචිම පුංචි සන්දියේදිමයි. “සුළඟක් වී” ගීතය “දඟමල්ල” විදිහට කළ රඟපෑම් තවමත් මිනිසුන්ට අමතක නැහැ.

පුංචි සන්දිය ගෙවලා තාරුණ්‍යයට එකතු වුණාට පස්සෙත් නතාෂා දිගටම කලා ක්‍ෂේත්‍රයේ රැඳුණේ ජනප්‍රියත්වය ඒ විදියටම රැකගෙන. ඊට පස්සේ නතාෂා ප්‍රිහාන් එක්ක යුග දිවි ගමන් ඇරඹුවා.

ඊටත් පස්සේ ඇය නීතිඥවරියක් විදියට දිවුරුම් දීලා නීතිඥ නතාෂා පෙරේරා බවට පත් වුණා. ඔය විදියට ගලා ගිය ඇගේ ජීවිතයේ අලුත් තොරතුරු කතා කරන්නත් එක්ක අපි නතාෂාට කතා කළා.

ඉතින් කොහොමද නතාෂා?
සාමාන්‍ය විදියට ජීවිතය ගලා ගෙන යනවා.

නීතිඥ නතාෂා පෙරේරා විදියට ආරම්භ කළ ජීවිතයේ තොරතුරු මොනවාද?
මම දිවුරුම් දුන්නේ 2015දි. දැනට මම ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් යටතේ කටයුතු කරනවා. උසාවියේ නඩු කතා කරන්න යන්නේ නැහැ. ආයතනික නීතිඥවරියක් විදියට තමයි කටයුතු කරන්නේ.

තවමත් උසාවියේ නඩු කතා කරන්න ගියේ නැත්තේ ඇයි?
ඇත්තම කියනවා නම් උසාවි පරිශ්‍රය තුළ විභාග වන නඩු දැක්කම, ඊට සම්බන්ධ වූ පාර්ශ්වයන්ගේ තොරතුරු ඇහුවාම මම හරියට සංවේදී වෙනවා. ඒ වගේ මානසික මට්ටමක ඉඳලා නඩුවලට පෙනී හිටින්න අමාරුයි. ඒ හින්දා මට හිතෙනවා මම දැනට මේ කරගෙන යන දේ හොඳයි කියලා.

කලාව තුළ නතාෂා අලුත් දෙයක් කළේම නැහැ නේද?
ඒක නම් ඇත්ත. ගොඩක් අය ඔය ගැන මගෙන් අහනවා. අලුත් සින්දුවක් කරන්න ඕනකම තියෙනවා. ඒත් ඒකට වෙලාවක් හොයාගන්න එක තමයි ප්‍රශ්නේ.

කොහොමද ප්‍රිහාන් එක්ක ගෙවිලා යන අලුත් ජීවිතේ?
ගොඩක් හොඳයි. බොහොම ආදරයෙන් ගෙවිලා යනවා.

තවම පුංචි අමුත්තෙක් කැදැල්ලට එකතු කරගන්න හිතුණේ නැද්ද?
(හිනැහීි) ඒ අදහස තියෙනවා. ඒත් අපි තව ටිකක් ගොඩ නැගෙන්න ඕනේ ඊට පස්සේ තමයි ඒ ගැන හිතන්නේ.

ඉස්සර නතාෂාගේ අම්මා සෙවණැල්ලක් වගේ නතාෂා පසුපස හිටියා නේද?
මමයි ප්‍රිහානුයි අලුත් ගෙදර පදිංචියට ගියාට පස්සේ අම්මට තදින්ම පාළුව, තනිකම දැනෙන්න ඇති. අම්මිගේ අත් උදව්වට කවුරු හිටියත් අම්මිට මාව නැතුවම බෑ. ඒ නිසා ඉඳලා හිටලා ඇවිත් අම්මි අපිත් එක්ක ඉන්නවා. අපිත් විවේකයක් ලැබුණු හැටියේ අම්මිව බලන්න යනවා.

නතාෂා ලංකාවේ හැම දෙයක්ම දාලා විදෙස් ගත වෙන්න හදනවා කියන්නේ ඇත්තද?
ඔව්. ඒ ආරංචිය ඇත්ත.

කොහෙටද යන්නේ?
ඕස්ට්‍රේලියාවට.

ස්ථිර පදිංචියටද?
මම එහේ රැකියාවක් කරන්නයි හිතාගෙන ඉන්නේ. එහෙම වුණාම නවතින්නත් වෙනවානේ.

එතකොට ඔබේ සැමියා?
එයත් මාත් එක්ක යනවා. ඒත් එයාගේ බිස්නස් තියෙන්නේ ලංකාවේ හින්දා එයාට නම් නිතර ලංකාවට එන්න සිදුවෙයි.

අපි මේ කතාබහට ප්‍රිහාන්වත් එකතු කරගත්තා. නතාෂා ප්‍රිහාන් රට හැර යන්නේ පදිංචියටද? ප්‍රිහාන් ළඟදී සංගීත කටයුත්තකට දායක වුණේ නැත්තේ ඇයි? දෙන්නගේ ඉදිරි කටයුතු මොනවාද කියන කාරණා ගැන අපි ප්‍රිහාන්ගෙන් ඇහුවා.

“මගේ අලුත් සින්දුවකුත් කරන්න හිතාගෙන ඉන්නවා. ළඟදී මගෙ ගීතයක් නොකළාට දැනට මම මගේ ප්‍රඩක්ෂන් හවුස් එකෙන් ගීත 50ක් විතර කරලා තියෙනවා. “ආයෙත් වරක් මට වඩා හොඳ කෙනෙක්” ඇතුළු මේ කා‍ලේ ජනප්‍රිය වූ ගීත ගොඩක් මගේ ප්‍රඩක්ෂන් හවුස් එකෙන් තමයි කළේ.

මමත් නතාෂා එක්ක ඕස්ට්‍රේලියා යනවා. ඒත් මගේ සංගීත කටයුතු ව්‍යාපාර කටයුතු මෙහෙ තියෙද්දී මට එහෙට වෙලා ඉන්න බැහැනේ. නතාෂාටත් ලංකාව දාලා ඕස්ට්‍රේලියාවට වෙලා හැමදාම ඉන්න මම ඉඩ දෙන්නේ නැහැ කියලත් නතාෂාගේ රසික රසිකාවන්ට කියන්න.” ප්‍රිහාන් හිනාවෙලා එහෙම කිව්වා.

ආරියවංශ කුලතිලක

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නතාෂාත් ළඟදීම සැමියාගෙන් ඈතට - රට හැර යාමට සැරසෙයි"

    Post a Comment