27 June, 2017

එකම චරිතය හැම නාට්‍යයෙම රඟපාන්න මම කැමැති නෑ

Madini Malwatte

ඇය වේදිකාවේ නැතුවම බැරි චරිතයක් කිවහොත් අවිවාදයකින් තොරව එය පිළිගත යුතු කරුණක්. මන්ද සිංහල නාට්‍ය වේදිකාව තුළ චරිතාංග රංග භූමිකාවක් සපත කරමින් ලංකාවේ නාට්‍ය කලාවේ කඩඉම් නාට්‍ය රැසකට සිය රංගන හැකියාව දායාද කළ ඇය මාදනී මල්වත්ත අද කතාබහ තුළින් මුණ ගැහෙන්න හිතුවා. මේ දිනවල ‘‘පැහැසරා’’ ටෙලි නාට්‍ය තුළිනුත් ආලින්දයට එන ඇයගේ රංගන කටයුතු වගේම පෞද්ගලික ජීවිතේ තොරතුරු සමඟින් ඇය කතාබහට එකතු වුණේ මේ විදිහට.

මේ දවස්වල කොහොමද කලා කටයුතු?

මේ දවස්වල වැඩි කාලයක් ගත වෙන්නේ ‘‘පැහැසරා’’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් එක්ක. ඊට අමතරව අලූත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. තවම ඒ නාට්‍යවල වැඩ පටන් ගත්තේ නැහැ.

ටෙලි නාට්‍ය තුළින් මාදනීව නොදැකපු කාලයකුත් තිබුණා නේද?


පහුගිය කාලේ ටෙලි නාට්‍ය කීපයක් කෙරුණා. හැම ඔඪ චැනල් එකේම දකින්න නැතිවුණාට කලා කටයුතුවල මම හිටියා.

කොහොම වුණත් මාදිනී කියන්නේ වේදිකාවේ නැතුවම බැරි චරිතයක්. මොනවද මේ දවස්වල වේදිකාවේ අලූත් වැඩ?

කැලණි පාලම, මධුර ජවනිකා, සුද්දෙක් ඔබ අමතයි මේ නාට්‍ය එක්ක සුපුරුදු විදිහට ලංකාව වටේම යනවා. මේ නාට්‍ය ලංකාවේ නාට්‍යකරුවන්ගේ කඩයිම් නාට්‍ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඉඳලා තරුණ නාට්‍යකරුවන්ගේ නාට්‍යවලටත් මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අලූත් ටෙලි නාට්‍ය ගැන කතා කළොත් මහාචාර්ය ආරියරත්න ඇතුගල අලූත් වේදිකා නාට්‍යයක් කරන්න ලෑස්ති වෙනවා ‘‘මහ සුපින’’ කියලා. මේ දවස්වල එහි පුහුණුවීම් කටයුතු වලත් නිරත වෙනවා.

වසර ගණනාවක් පුරාවට වේදිකාවේ සිය අනන්‍යතාවයක් නිර්මාණය කරගන්න රංගන ශිල්පිනියක් විදිහට ඔබගේම කියලා වේදිකා නාට්‍යයක් නිර්මාණ කළොත් නරකද?

ඇත්තටම ආසාවක් සහ ලොකු වුවමනාවක් තියෙනවා මට වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න. ඒත් මම තවම ඒ ගැන හිතනවා. හොඳ පිටපතක් ලැබුණොත් හොඳ වේදිකා නාට්‍යයක් පේ‍්‍රක්‍ෂකයන් අතරට ගේනවා. ඒ බලාපොරොත්තුව කවදා කොයි කාලෙ ඉෂ්ඨ කරගන්න ලැබේවිද දන්නේ නැහැ. ඉදිරියෙදි බලමුකෝ. කලාව ඇතුළේ මාදනී කියන චරිතය බිහි කළේ වේදිකාව. ඒ නිසා වේදිකාවේ හොඳ නිර්මාණයක් කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

මාධනී කියන චරිතය නාට්‍ය වේදිකාවෙන් බිහි නොවුණා නම්?

එහෙනම් මම අද සංගීත ගුරුවරියක්.

ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට වඩා වේදිකා නාට්‍ය ක්ෂේත‍්‍රයෙන් ඔබ සාර්ථකයි කියලා හිතනවද?

වේදිකාවට ඇවිල්ලා මම දැන් අවුරුදු දහඅටක්. මෙතෙක් මම වේදිකාවේ රඟ පෑ හැම චරිතයක්ම ගොඩක් සාර්ථක වුණා. මම කිසිම වෙලාවක මාධනී කියන චරිතය වේදිකාවට ගෙනිච්චෙ නැහැ. මගේ සාර්ථකත්වය තිබුණේ අන්ත එතන. වේදිකා නාට්‍ය පැත්තෙන් මම ගොඩක් තෘප්තිමත්. ඒ වගේම අති සාර්ථකයි. මේ වෙනකොට රාජ්‍ය නාට්‍ය උළෙලේ තුන් වතාවක් හොඳම නිළියට හිමි සම්මානය මට ලැබිලා තියෙනවා. එතනින් එහාට වේදිකාවේ මට තවත් දිනාගන්න දෙයක් නැහැ. ටෙලි නාට්‍ය පැත්තෙනුත් මම අසාර්ථක නැහැ. ඒත් පුංචි කලකිරීමකුත් තියෙනවා. සිංහල වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත‍්‍රපට කලා මාධ්‍යයන් ත‍්‍රිත්වයේම ලොකු බැස්මක් තියෙනවා.

කළකිරෙන්න හේතුව?

ගොඩක් පිටපත් රචකයන් කරන වරදක් තමයි අපි එක ටෙලි නාට්‍යයක එක චරිතයක් හොඳට රඟපෑවොත් ඊළඟ ටෙලි නාට්‍යයෙන් ඒ වගේම චරිතයකට අපිව කොටු කරනවා. කලාකරුවෙක්, කලාකාරිනියක් කියන්නේ ඕනම චරිතයක් මවා පෑමේ හැකියාව තියෙන කෙනෙක්. මම චරිතාංග රංගන ශිල්පිණියක්. ඒ නිසා මාව එකම චරිතයකට කොටු කරන්න එපා. ඒක මගේ හැකියාවට කරන අසාධාරණයක්. එක ටෙලි නාට්‍යයක ‘‘අම්මගේ’’ චරිතය කළොත් තවත් පිටපත් දහයක් විතර අරගෙන එනවා අම්මාගේ චරිතයම කරන්න කියලා. මම එහෙම රඟපාන්න කැමති නැහැ.

චිත‍්‍රපටි වලට ආරාධනා ලැබෙනවා අඩුද?

ඇත්තටම මම චිත‍්‍රපටි නම් අඩු ප‍්‍රමාණයකට තමයි දායක වෙලා තියෙන්නේ. පහුගිය දවස්වල චිත‍්‍රපටි කිහිපයකට දායක වුණා. ඒවා ඉදිරියේදී තිරගත වේවි.

ඔබේ සැමියා කීර්ති රත්නායකත් නාට්‍ය ශිල්පියෙක් ඔබ දෙපළම කාර්ය බහුල කලා ශිල්පීන් නිසා පෞද්ගලික ජීවිතේ වගකීම් යුතුකම් මඟ හැරෙන අවස්ථා නැද්ද?

පවුල් ජීවිතයකට කාර්ය බහුලකම ප‍්‍රශ්නයක් නෙමෙයි. වැඩ කරනව කිව්වට මේ ලෝකේ හැම තත්ත්පරයක්ම වැඩකරන මනුස්සයෙක් නැහැ. ජීවිතේ හැමකෙනාම කාර්ය බහුලයි. මම නම් කියන්නේ ඒක බොරුවක්. මම නම් ඒක පිළිගන්නේ නැහැ. අපි වැඩ කරන්නේ හැකි ප‍්‍රමාණයට විතරයි. මම වැඩ කරනවා. කීර්ති වැඩ කරනවා. එහෙමයි කියලා අපේ ජීවිතේ ලොකු කාර්යබහුලත්වයක් නැහැ. මොන දේ කළත් පෞද්ගලික ජීවිතේ වගකීම් සහ යුතුකම් ඉටු කරන මවක්, බිරිඳක් විදිහට මම සාර්ථකයි. ගෙදර වැඩ කටයුතුවලට කීර්තිත් මට ලොකු සහයෝගයක් දෙනවා.

කලා ක්ෂේත‍්‍රයේ ඉන්න බොහෝ දෙනාගේ ජීවිත ගත්තට මොනයම් හෝ පැත්තකින් අසාර්ථකයි, කට කතා, මඩ ප‍්‍රචාර මේ දේවල් මාදිනී කියන චරිතය එක්ක ගැටෙන්නේ කොයි විදිහටද?

ජනප‍්‍රිය චරිතයක් කියන්නේ මිනිස්සු අතරේ වැඩිපුර කතා වෙන, ගොසිප් හොයන, ගොසිප් හැදෙන සමාජයේ ඉන්න එක කොට්ඨාසයක්. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ගත්තම පවුල් අසාර්ථක වීම් බහුලව තියෙනවා. හැබැයි සාමාන්‍ය පුද්ගලයන්ගේ ඒ දේවල් ගැන සමාජය කතා වෙන්නේ නැහැ. ජනපි‍්‍රය චරිතවලට ගොසිප් හැදෙන එක නතර කරන්නත් බැහැ. ලංකාවේ මිනිස්සු වැඩිපුරම අහන්න බලන්න කැමති කුණු ගොඩවල්. ගොසිප්, කටකතා විදුලි වේගයෙන් ජනප‍්‍රිය වෙන්නේ ඒකයි. මට කවදාවත් මම සම්බන්ධව කට කතාවක්, මඩ ප‍්‍රචාරයක් යනවා ඇහිලා නැහැ. සමහරවිට මම නැති තැන්වල ඒ දේවල් කතා වෙන්න පුළුවන්. මම හිතනවා මේක මම බොහොම අවබෝධයෙන් යන ගමනක්. කීර්තිත් මමත් ජීවත් වෙන්නේ හොඳ අවබෝධයකින්.

පුතත් ඉදිරියේදී රංගන වෘත්තියට ඒවිද?

එයා දැනටමත් ළමා රංගන ශිල්පියෙක්. පුතත් ජීවිතේ කැමතිම තැන තමයි වේදිකාව. ඉගෙන ගෙන කලාව පැත්තෙන් ඉදිරියට ගියාට මගේ අකමැත්තක් නැහැ. (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එකම චරිතය හැම නාට්‍යයෙම රඟපාන්න මම කැමැති නෑ"

    Post a Comment