18 June, 2017

පාකිස්තානයේ නවතම ගිනි පුපුර

‘මේ හාදයා කවුද..?

Hasan Ali - 01

මීට වසරකට පෙර පාකිස්තාන සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් මංගල තරගාවලියේ දී පේෂාවාර් සිල්මි පිල නියෝජනය කරමින් සිය පළමු තරගයට සහභාගි වූ පන්ජාබයේ 22 හැවිරිදි කොලු ගැටයකු එදින මාධ්‍ය හමුවට සහභාගි වෙද්දී මුලින්ම අසන්නට ලැබුණේ එවැන්නකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබාහි හී පැවැති එම තරගයේ මාධ්‍ය හමුවේදී තොර තෝංචියක් නැතිව පාකිස්තානු මාධ්‍යවේදීන් මේ තරුණයාගෙන් ප්‍රශ්න වැලක්ම ඇසූහ.

හිටිහැටියේම ක්‍රිකට් පිටියට කඩා පාත්වූ මේ දකුණත් වේගපන්දු යවන්නා ගැන එදා එතරම් පැහැදීමක් කිසිවකුට නොතිබූ හැඩකි.

එම තරගාවලිය නියෝජනය කළ පේෂාවාර් සල්මි පිලේ පුහුණුකරු ජාතික පිලේ හිටපු වේගපන්දු යවන්නකු වන මොහොමඞ් අක්රාම් මේ තරුණයා කණ්ඩායමට තෝරාගත්තේ එදින දහවලේදීය. එය ෂොයිබ් මලික්ගේ නායකත්වයෙන් යුතු කරාච්චි කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගයකි.

අන්තිමේදී තරගය කඩුලු 5 කින් ජයගැනීමට ෂාහිඞ් අෆ්රිඩි නායකත්වය දැරූ සිල්මි පිල සමත්වූ අතර ඉනිමේ ආරම්භක පන්දු යවන්නා වූ හසන් අලි සිය ඕවර 4 ඇතුලත ලකුණු 27 කට කඩුල්ලක් දවාගත්තේය.

“මං එදා මේ තරුණායට කිව්වා ඔයා ඉන්න ඕනා මෙතැන නෙවෙයි කියලා. ඔයාගේ තැන ජාතික කණ්ඩායමේ කියලා.” මොහොමඞ් අක්රාම් අද එසේ කියයි.

“ඔයා අද මේ පාකිස්තාන සුපර් ලීග් වගේ ප්‍රධාන පෙලේ තරගයකට සෙල්ලම් කරන්නේ මුල් වතාවට වෙන්න පුලුවනි. ඒත් ඔයා හිතන්න ඕනා මේක ක්‍රීඩා සමාජ අතර තරගයක් විතරයි කියලයි. ඊට එහා තව දෙයක් තියෙනවා කියලයි” එදා ඩුබාහි හී ක්‍රීඩක විවේකාගාරයේදී මේ තරුණ ක්‍රීඩකයාට තමා එසේ පැවැසූ බව අද අක්රාම් කීවේය.

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙට පැැවත්වෙන ඉන්දු - පාකිස්තාන අවසන් මහා තරගයේදී කාගෙත් අවධානය දිනාගෙන සිටින මේ තරුණ ක්‍රීඩකයා හසන් අලීය. හෙතෙම මේ වනවිට ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කඩුලු 10 ක් බිඳ හෙලමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටී.

මූලික වටයේදී ඉන්දියාවට එරෙහිව පැවැති පළමු තරගයේදී එක් කඩුල්ලක් පමණක් බිඳ දැමූ මේ දකුණත් වේගපන්දු යවන්නා අනතුරුව දකුණු අප්‍රිකාවට (24/3), ශ්‍රී ලංකාවට (43/3) සහ එංගලන්තයට (35/3) එරෙහිව පැවැති තරගවලදී කඩුලු 3 බැගින් දවාලමින් කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත්වීමට සමත්විය.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියෙන් මාස දෙකකට පසුව ඔහු සිටියේ ජාතික කණ්ඩායම සමග අයර්ලන්තයේ ඩබ්ලිං නුවර සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කරමිනි.

සිහින් සිරුරකට හිමිකම් කියන මේ හාදයාට ඇත්තේ සැබැවින්ම පාකිස්තානු වේගපන්දු යවන්නන්ගේ පුරාවෘත්තයට කොයි හැටියටත් උචිත රූපයක් නොවේ. හර්කියුලිස් වර්ගයේ උරහිස් ඇති ෂොයිබ් අක්තාර්, කැපී පෙනෙන උසක් ඇති වසීම් අක්රාම් හෝ මොහොමඞ් ඉර්ෆාන් අතර හසන් අලි කවුරුන්දැයි කෙනෙකු සිතන්නට බැරි නැත.

එහෙත් නැගී එන ක්‍රීඩකයන්ගේ පුහුණු කඳවුරකදී මොහොමඞ් අක්රාම් ඔහු තෝරාගත්තේ ඔහු පෙන්වන විශ්වාසනීයත්වය හා පිතිකරුවා අන්දමන්ද කරවන සුලු පන්දු යැවීමේ හැකියාව නිසාය.

“මම හසන් අලි තෝරාගනිද්දී කවුදෝ කීවා මට පිස්සු කියලා. මම එයාලාට කිව්වේ මම හොයන ගිනි පුපුර මේ තමයි කියලයි”

“මට නිකම් ඔහු පෙනෙන්නේ ඬේල් ස්ටේන් වගේ. එහෙමත් නැත්නම් වර්නන් ෆිලැන්ඩර් වගේ. හසන්ගේ මැණික් කටුවේ ක්‍රියාකාරිත්වයයි.

මම වැඩිපුර නිරික්ෂණය කළේ. පන්දු යැවීමේදී ඔහු එය පාවිච්චි කරන ආකාරය ගැනයි. පාකිස්තානු පිල තවම එයාව අලුත් පන්දුව යැවීම සඳහා වැඩිපුර යොදාගෙන නෑ. ඒත් මං හිතන්නේ කවදාහරි දවසක හසන් අලි අලුත් පන්දුවෙන් වැඩ පෙන්වන ගත්තාම ලෝකයේ හොඳම පන්දු යවන්නකු වේවි කියලයි” මොහොමඞ් අක්රාම්ගේ අනාවැකියයි ඒ.

“ඔහු ඉතා හොඳින් පන්දුව පසුපසට දෝලනය කරනවා. මැණික් කටුව හොඳට පාවිච්චි කරන නිසා ඔහුට වේගය උපද්දවන්න පුලුවනි. ඒකට මොහොමඞ් ඉර්ෆාන්ගේ වගේ හරි ජොයෙල් ගානර්ගේ වගේ හරි උසක් ඕන නෑ.‘ හසන් අලි ගැන අක්රාම් දෙන සහතිකය එයයි.

එහෙත් අවාසනාවකට වගේ හසන්ට ඉන්දියාව සමග පැවැති පළමු තරගයේදී වැඩිපුර දස්කම් දැක්වීමට අවස්ථාවක් නොලැබිණි. ඔහු එක් කඩුල්ලක් පමණක් දවාගත් අතර යුව්රාජ් සිං දුන් තීරණාත්මක උඩපන්දුවක් අත හැරියේය. ඉන්දියාවට එරෙහිව දස්කම් පෙන්වීමට හෙට ඔහුට තවත් අවස්ථාවක් ලැබී තිබේ. ඔහු දැන් ඉන්දීය පිලේ අවධානය වැඩිපුර යොමුවූ වේගපන්දු යවන්නෙකි.

මේ හාදයා කවුදැයි දැන් කිසිවකු අසන්නේ නැත.

Hasan Ali - 02

Hasan Ali - 03

සැකසුම - මොහාන් ප්‍රනාන්දු - kelimandala

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාකිස්තානයේ නවතම ගිනි පුපුර"

    Post a Comment