16 June, 2017

ඩිජිටල් පෙරළියෙන් ලොව ජය ගැනීමේ අවශ්‍යතාව ඇමති හරීන් අවධාරණය කරයි

Harin Fernando-21

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) ලොව පුරා සමාජ සහ ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇති යුගයක් අපි පසු කරමින් සිටින්නෙමු. අප රටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය සඳහා ද එමගින් ඉටුවන මෙහෙය අති විශාලය.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සතු එම සුවිශේෂී කාර්යභාරය පිළිබඳ අවධාරණය කරමින් සඳහන් කළේ දැනුම මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් මෙන්ම තිරසාර ආර්ථිකයක් ළඟා කර ගැනීම සඳහා ද තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය ප්‍රධාන බලවේගයක් බවට පත්කර ගත යුතු බවය.

2003 වසරේ අංක 27 දරන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පනත යටතේ ස්ථාපනය කෙරුණු එම ක්ෂේත්‍රයේ මෙරට ප්‍රමුඛත ම ආයතනයවන ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) තිරසාර ආර්ථික වර්ධනයක් කරා යන ගමනේ එක් සුවිශේෂී සංධිස්ථානයකි.

විදුලි සංදේශ හා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකවන ආයතනයක් ලෙස ICTA ආයතනය, විශේෂයෙන් පසුගිය වසර දෙකක කාලය තුළ ගරු අමාත්‍යවරයාගේ ආශිර්වාදයෙන් දැවැන්ත වැඩසටහන් රැසක් දියත් කිරීමට සමත් විය.

"ICTA ආයතනය තාක්ෂණික අභියෝග සහ ගෝලීය වශයෙන් තාක්ෂණික ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්වීම් වලට සාර්ථකව මුහුණ දෙමින් මෙරට තුළ ඉදිරිගාමී ව්‍යවසාය පරිසරයක් ගොඩනැගීම සඳහා සිය සහයෝගය ලබා දෙනවා" අමාත්‍යවරයා සඳහන් කළේය.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය මෙරට මානව සහ ආර්ථික ප්‍රගමනය වේගවත් කිරීම සඳහා පෙරමුණ ගත යුතු බවත්, දිගුකාලීන සමාජ බලපෑමක් ඇති කළ හැකි සහ හිඩැස පිරවිය හැකි නව තාක්ෂණික ක්‍රමවේද ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත් ඒ මහතා අවධාරණය කළේය.

"කැපී පෙනෙන ලෙස තිරසාර ආර්ථික සහ සමාජ සංවර්ධනයක් ඇති කිරීම සඳහා විශේෂයෙන් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ව්‍යවසාය ක්ෂේත්‍රය තුළ නවෝත්පාදන අදහස් ක්‍රියාවට නැංවීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි" යනුවෙන් හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගෝලීය වශයෙන් වේගයෙන් වර්ධනයවන ප්‍රවණතා පිළිබඳ අවධානය යොමු කරන ඒ මහතා සඳහන් කළේ කලාපීය වශයෙන් තරග කළ හැකි ව්‍යවසාය පද්ධතියක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ඉදිරි දැක්මකින් යුතුව කටයුතු කරමින් සිටින බවය.

ශ්‍රී ලංකාව 2017 වසරේ Global Startup Ecosystem වාර්තාවට පළමු වරට ඇතුළත් වීමට සමත් වූ අතර එමගින් ලෝකය සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ මනා විශ්ලේෂණයක් සිදු කළ හැකිය.

"ICTA ආයතනය ආධුනික ව්‍යවසාය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවූ අතර, පසුගිය වසර කිහිපය තුළ ආධුනික ව්‍යවසායකයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වී තිබෙන බව අපට පෙනී යනවා" අමාත්‍යවරයා අදහස් පළ කළේය.

මෑත කාලයේ ආධුනික ව්‍යවසාය පරිසරය තුළ වේගවත් වර්ධනයක් අත්පත් කර ගැනීමට අප සමත් වුව ද එම ව්‍යවසායවල හැකියා වර්ධනය කිරීම සඳහා නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීමටත්, ව්‍යවසායකයන්, සහයෝගී සංවිධාන සහ ආයෝජකයන් අතර සහයෝගිත්වයක් ඇති කිරීමටත් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයාගේ අදහසයි.

"නවෝත්පාදනය සහ ආධුනික ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් දියත් කෙරුණු විවිධ වැඩසටහන් හරහා ICTA ආයතනය ජාතික වගකීමක් ඉටු කරනවා" යයි ඔහු ප්‍රකාශ කළේය.

ICTA ආයතනය විසින් දියත් කරන ලද ආධුනික ව්‍යවසාය සහ තොරතුරු තාක්ෂණ සහයෝගී වැඩසටහන මූලික ප්‍රාග්ධනය, අධීක්ෂණය සහ පුහුණු වැඩසටහන් හරහා ක්ෂේත්‍රය තුළ ධනාත්මක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇත.

දැනට ක්‍රියාත්මකවන ICTA ආයතනයේ කේන්ද්‍රීය මූලික ප්‍රාග්ධන වැඩසටහන හේතුවෙන් ප්‍රතිලාභ හිමිවන සමාගම් අතරින් 86%කට පමණ කිසිඳු බාධාවකින් තොරව සිය ව්‍යාපාර අඛණ්ඩව සිදුකර ගැනීමේ අවස්ථාව උදා වී ඇත.

කෙසේ වෙතත් ආධුනික ව්‍යවසායකයන් සතුව විශිෂ්ට ව්‍යාපාරික අදහස් ඇති බවත්, ඔවුන්ට ඇති ප්‍රධානත ම ගැටළුව නම් එම අදහස් ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් ඔවුන් සතුව නොමැති වීම බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ආධුනික ව්‍යවසාය ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වකරුවන් හට පොදු වේදිකාවක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව ICTA ආයතනය වාර්ෂිකව 'Disrupt Asia' ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය සංවිධානය කරයි. මෙවර අඛණ්ඩව දෙවන වරටත් සංවිධානය කෙරෙන එම ප්‍රදර්ශනය සඳහා ප්‍රකට ජාත්‍යන්තර දේශකයන්, උපදේශකයන් සහ ආයෝජකයන් රැසක් සහභාගී වීමට නියමිත අතර එමගින් ශ්‍රී ලාංකේය ආධුනික ව්‍යවසාය සඳහා ලෝක මට්ටමේ අවධානයක් දිනා දීම අරමුණයි.

මීට අමතරව පුහුණු, ජාලගතකරණ සැසි සහ ප්‍රවර්ධන අවස්ථා මෙන්ම විදේශීය සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන සඳහා සහභාගී වීමේ අවස්ථා ද ආධුනික ව්‍යවසායකයන් හට ලබා දීම සඳහා ICTA ආයතනය කටයුතු කර ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීමත්, ඔවුන්ගේ සමාගම් ප්‍රවර්ධනය සහ සවිබල ගැන්වීමත් මෙවැනි වැඩසටහන්වල ප්‍රධාන ඉලක්කයයි.

වෙළඳපල සබඳතා තර කිරීමත්, ජාලගතකරණ උළෙල මෙන් ම විදෙස් වෙළඳපල තුළ වෙනත් ආධුනික ව්‍යවසාය උළෙල ආදිය සඳහා මෙරට ව්‍යවසායකයන් හට පහසුකම් සැලසීමත් හරහා ICTA ආයතනය මෙරට ආධුනික ව්‍යවසායකයන් හට අවස්ථා පුළුල් කිරීම සඳහා සිය දායකත්වය ලබා දී ඇත.

"ශ්‍රී ලාංකේය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ආධුනික ව්‍යවසායකයන් වෙනත් රාජ්‍යයන්හි පවා සිය නාමය සනිටුහන් කර ගනිමින් සිටිනවා. අප රට ආර්ථිකමය වශයෙන් පරිවර්තනයකට ලක් කිරීම සඳහා ඔවුන්ගෙන් ලබා ගත හැකි දායකත්වය ඉතා විශාලයි. රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමින් වෙළඳපල ජය ගැනීම සඳහා සහයෝගය ලබා දීමට කැප විය යුතු බව මාගේ විශ්වාසයයි" අමාත්‍යවරයා අවසාන වශයෙන් අවධාරණය කළේය. (biz.adaderana)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඩිජිටල් පෙරළියෙන් ලොව ජය ගැනීමේ අවශ්‍යතාව ඇමති හරීන් අවධාරණය කරයි"

    Post a Comment