12 May, 2017

ගුප්ත ක්‍රම මගින් කතුන් ගැබ්ගන්වන්න පුළුවන්ද?

pregnant women

දරුපල අහිමි කාන්තාවන්ට දරු සම්පත් ලබා දිය හැකි ගුප්ත ක්‍රම ඇතැයි යන විහ්වාසය අතීතයේ සිට ලොව සෑම ජන සමාජයකම පාහේ පැවැති දෙයකි. එහෙත් නූතන විද්‍යා තාක්ෂණික දියුණුවත් සමඟ යම් පමණකින් හෝ අවම විය යුතු එම විශ්වාසය අදටත් අපගේ ජන සමාජය තුළ එපරිද්දෙන්ම පවතිනු දක්නට ලැබේ. නූතන සංනිවේදන තාක්ෂණික දියුණුව ඒ සඳහා සෘජුව බලපා ඇති බවත් පෙනෙන්නට තිබේ.

විද්‍යාත්මක පදනමකින් තොර ගුප්ත ක්‍රම මගින් දරු පල අහිමි කතුන්ට දරුපල හිමිකර දෙන පිළිගත් වෘත්තිකයන් නොවන විවිධ පුද්ගලයන් සහ ඔවුන් පෑ බව කියන සමත්කම් වලට පුවත්පත් රූපවාහිනී සේම සමාජ ජාල වෙබ් අඩවි තුළින් අද වන විට සැලකිය යුතු ප්‍රසිද්ධියක් හිමි කොට දී තිබේ.

“අට වසරක් දරුවන් නොමැතිව නවීන විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා අතිවිශාල මුදලක් වැය කළත් කිසිම ප්‍රතිඵලයක් නොලැබූ කාන්තාවක් මා හමුවට පැමිණියා; එහි දී දරු පිළිසිඳ ගැනීමකට අවශ්‍ය ශක්තිය ඇයට ලබා දීමට මට හැකි වුණා; එහි දී මා ඇයට ලබා දුන්නේ මේ විශ්වය පුරා පැතිර පවතින විශ්ව ශක්ති බලයයි; විශ්ව ශක්තිය මේ ලොව පුරාම පැතිරුණත් එය බලයක් ලෙස ගොනු කර ගැනීමෙන් විතරයි මෙවැනි හාස්කම් දැක්විය හැක්කේ.”

එසේ හාස්කම් පළ කරන බව පවසන පුද්ගලයකු පසුගිය දා පුවත් පතක් මගින් එසේ පවසා තිබිණ. ඔහුගේ ප්‍රකාශය එසේ වුවත් වසර අටක් දරුවන් නොමැති කාන්තාවක වුව යහපත් ලිංගික සබඳතාවයක් ඔස්සේ ඉන්පසුවද ගැබ් ගැනීමේ යම් සම්භාවිතාවක් තිබේ. එවන් සම්භාවිතාවක් ඇති කාන්තාවන් යම් ප්‍රමාණයක් ඔවැනි ගුප්ත ප්‍රතිකාර වෙත ද යොමු විය හැක. 

ඒ අතර එසේ ගුප්ත ප්‍රතිකාර ගන්නා අතරේ ඉහත සඳහන් සාමාන්‍ය සම්භාවිතාව අනුව සිදුවන පිළිසිඳ ගැනීම් මුල්කොට ගත් ගෞරවය වුව ඉහත සඳහන් ගුප්ත ප්‍රතිකාර කරන්නාගේ ‘ගිනුමට බැර වීම’ ඉතා ස්වභාවිකය. ඒ හැරුණු කොට දරු සම්පත් අහිමි කාන්තාවන් බොහෝවිට මෙවන් ගුප්ත ප්‍රතිකාර වෙත යොමු වනුයේ තමන් තුළ පවතින මඳසරු භාවයට (Subfsertility) විද්‍යාත්මක ප්‍රතිකාර ගැනීමෙන් පසුවය. 

එමෙන්ම එසේ විද්‍යාත්මක ප්‍රතිකාර ලබා ගත් කාන්තාවක තුළ නැවත දරු පිළිසිඳ ගැනීමේ ශක්තිය හට ගැනීමට මඳ කලක් ගතවීමට පුලුවන. එහෙත් ඒ පිළිබඳව තැකීමක් නොමැති බොහෝ කාන්තාවෝ ‘ඒකෙනුත් කිසි වැඩක් වුණේ නැහැ’ කියමින් මෙවැනි ගුප්ත ප්‍රතිකාර කෙරෙහි යොමු වෙති. එවිට ද ඇය විද්‍යාත්මක ක්‍රම ඔස්සේ ලද දරුවන් පිළිසිඳ ගැනීමේ වරම ඇයට ලබාදීම පිළිබඳ ගෞරවය ඉහත සඳහන් ගුප්ත ක්‍රම මගින් දරු සම්පත් ලබාදෙන බව පවසන්නවුන් වෙත හිමිකරමින් තමන් දන්නා කියන සෑම‍ කෙනෙකු හමුවේ ම එම ‘හාස්කම් බලය’ පිළිබඳව ප්‍රකාශ කිරීම සුලබ තත්ත්වයක් වී තිබේ.

එනිසාම නවීන විද්‍යාවට අභියෝග කොට එසේ ගුප්ත ක්‍රම මඟින් දරුපල ලබා දිය හැකි බවට පුරසාරම් දොඩන්නවුන් හට ෆේස්බුක් ආදී වෙබ් අඩවි මගින් පවා සුවිසල් ප්‍රසිද්ධියක් ලැබෙමින් පවතී.

දරු පිළිසිඳ ගැනීමක් යනු බැලූ බැල්මටම ස්ත්‍රී - පුරුෂ ලිංගික එක්වීමක් පදනම් කොට සිදුවන ජෛවමය සංසිද්ධියකි. එහෙත් එහි මනෝමය පක්ෂයක් ද නැත්තේම නොවේ. එහෙත් අද සමාජයේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව වැඩිදුර නොදනිති; නොසිතති. පාසල් සිසුන් පවා දන්න අන්දමට දරු පිළිසිඳ ගැනීමක් ඇතිවන්නේ පුරුෂයකුගේ ශුක්‍රානුවක් සහ කාන්තාවකගේ ඩිම්බයක් සංසේචනය වීමෙනි. 

එසේ සංසේචනය වීම පිණිස කාන්තාවකගේ ශරීරය තුළ ඩිම්බ මේරීම සහ මෝචනය වීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු විය යුතුය. එසේ ඩිම්බ නිකුත් කිරීම ඩිම්බ කෝෂ මගින් සිදු කෙරෙන අතර එම ඩිම්බ නිපදවීම මොළයේ පිටියුටරි ග්‍රන්ථියේ ඇති හෝමෝන මගින් පාලනය කරයි. 

එහෙත් මේ ක්‍රියාවලිය සඳහා මොළයේ ඇති හයිපොතැලමස නම් ඉන්ද්‍රිය ද සෘජුවම බලපායි. කාන්තාවන් සම්බන්ධ මෙම ජෛවමය ක්‍රියාදාමය විද්‍යාත්මකව හැඳින්වෙනුයේ Hypothalamic pituitary gonadal axis යනුවෙනි. එහි දී පිටියුටරි ග්‍රන්ථිය මගින් නිපදවෙන FSH – Follicle – Stimulating hormone සහ LH – Luteinizing hormone ගණයේ ලිංගික හෝමෝන මගින් ඩිම්බකෝෂ මගින් නිසි පරිදි ඩිම්බ මේරීම සහ මෝචනය සිදු කෙරේ. 

එහෙත් ඉහත සඳහන් ඩිම්බකෝෂ සහ නාල අවහිරතා, පිටියුටරි ග්‍රන්ථයේ සහ මොළයේ හයිපොතැලමසේ හටගන්නා යම් යම් දෝෂ සහ අර්බුද තත්ත්වයන් මත කාන්තාවක තුළ නිසි පරිදි ඩිම්බ මේරීමට සහ මෝචනය නොවීමට ඉඩ තිබේ.

එමෙන්ම කිසියම් කාන්තාවක නිරතුරුව මානසික පීඩනය, ආතතිය සහ විශාද ආදී තත්ත්වයන් ගෙන් පසුවීම මත ඉහත සඳහන් ඩිම්බ මේරීමේ සහ මෝචනය වීමේ ක්‍රියාවලියට බාධා පමුණුවන බව විද්‍යාත්මකව සනාථවී ඇත. ඊට එක් හේතුවක් වන්නේ කෝටිසෝල් (Cortisol) හෝමෝනය වැඩිපුර නිෂ්පාදනය වීම මත ඩිම්බ මේරීමට සහ මෝචනය වීමට අදාල හෝමෝන යාන්ත්‍රය ද නොවිධිමත්වීමය. 

විශේෂයෙන් දරුවන් නොමැතිවීම නිසා හටගන්නා මානසික පීඩනය ආතතතිය සහ තම පවුල් පරිසරය සහ ඇසුරු කරන සමාජය විසින් ඇගේ සිත තුළට පිවිසුවනු ලබන අසුබවාදී මානසික බලපෑම් ආදිය මත බිඳ වැටෙන මානසිකත්වය ඔස්සේ කතුන් තුළ පවත්නා මඳසරු භාවය නිරන්තරව පැවැතීමේ මනෝ - ජෛවමය හැකියාවක් පවතී. ඒ අනුව කිනම් හෝ අයුරකින් ඔවුන් ගේ එම බිඳවැටුණු මානසිකත්වය යළි නඟා සිටුවීම ඔවුන් කෙරෙන් ගිලිහී යන එම මද සරුභාවය යළි ළංකරවිය හැකි ක්‍රමයකි.

දරුපල ඇති කරවීමේ ගුප්ත ක්‍රම ආදී සියළු කටයුතු වලින් කළ හැක්කේ එසේ විවිධ සංකල්ප ඉදිරිපත් කරමින් ‍එවැනි කාන්තාවන් ගේ සිත තුළ බිඳවැටුණු මානසිකත්වය යළි නඟා සිටුවීමක් පමණි. ඒ අනුව බලන විට එය විද්‍යාත්මකව විස්තර කළ හැක්කේ නොවිධිමත් මනෝ චිකිස්සාවක් ලෙසිනි. 

එහෙත් තත්ත්වය එසේ වුවද එවන් මනෝ විද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක පදනමක් සහිත කරුණක් සම්බන්ධයෙන් අද්භූතවාදී සංකල්ප මුල් කොට ප්‍රතිකාර පැතීම කිසිසේත් අනුමත කළ නොහැක. ඊට හේතුව එවන් බොහෝ ගුප්ත ප්‍රතිකාර ක්‍රම තුළ මිනිසුන්ට කායික සේම මානසික වශයෙන් බෙහෙවින් අන්තරායකාරී ක්‍රියා ගැබ්ව තිබෙන බව ඉතා හොඳින් අනාවරණය වී ඇති බැවිනි. 

ඇතැම්විට මෙබඳු ගුප්ත ක්‍රම වල පිහිට පැතීමට ගිය සමහරුන්ට අවසානයේ නතරවීමට සිදුවනුයේ මානසික රෝග සායන සහ වාට්ටුවලය. නමුදු කාන්තාවකගේ දරුඵල නොමැති වීමට කිසිදු කායික හේතුවක් නොමැති විටෙක ඒ සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය විද්‍යාත්මක විමර්ශනයක් සිදු කොට පෞරුෂ, පවුල් ප්‍රජා සහ සමාජමය හේතූන් මත ඔවුන් කෙරෙන් බිඳ වැටුණු මනෝ කායික නිරෝගීතාව යළි ගොඩනඟා ගැනීමටත් ඒ වනවිටත් ඔවුන් තුළ පවතින කාන්සාව, ආතතිය සහ විශාද තත්ත්වයන් අවම කොට දරු ප්‍රසූතියකට ඉවහල්වන මනෝ කායික අවකාශය ඔවුන් වෙත ලබා දීමටත් නූතන මනෝ වෛද්‍යවරු සමත් වී සිටිති.

එමෙන්ම ඉතා සුළු හෝ අහඹු හැකියාවක් ඇතැයි පැවසෙන ගුප්ත ක්‍රම මගින් ඒ අවස්ථාව හිමිකර ගැනීම සම්බන්ධයෙන් අවසන් වශයෙන් කිව යුතු දෙයක් ද තිබේ.

“වයින් සිරවුණු ඔරලෝසුවක් බිම වැටුණු පසු යළි ක්‍රියාත්මක විය හැක. එහෙත් එනිසා වයින් සිරවුණු ඔරලෝසු පොළොවේ ගසා එම ප්‍රතිඵලය අපේක්ෂා කිරීම කෙසේවත් කළ යුතු නැත.”

කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ (රාගම) මනෝ වෛද්‍ය විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කේ.ඒ.එල්.ඒ. කුරුප්පු ආරච්චි අවධාරණය කරයි.

සටහන : දමයන්ති ගමගේ (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගුප්ත ක්‍රම මගින් කතුන් ගැබ්ගන්වන්න පුළුවන්ද?"

    Post a Comment