12 May, 2017

සැමියා නැති වුණා කටහඬ බොඳ වුණා මගේ මුළු ලෝකයම කඩා වැටිලා

Chandrika Siriwardana - Anton Alwis

විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනට මීට මසකට පමණ කලින් බොහොම සංවේගජනක අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ තමයි ඇගේ ආදරණීය සැමියා වූ ඇන්ටන් අල්විස් මහතා මෙලොවින් සදහටම නික්ම යාම. ඇන්ටන් අල්විස් කියන්නේ කලා ක්ෂේත්‍රයේත් අංශ කිහිපයකින්ම දක්ෂතා ප්‍රකට කළ කලාකරුවෙක්. සැමියාගේ වියෝවෙන් මසක් ගත වුණා. තවමත් පහ නොවූ ශෝකයෙන් යුතුව අප හා කතාබහට එක්වූ චන්ද්‍රිකා සිරිවර්ධන සැමියා ගැනත් තමන්ගේ කලා කටයුතු ගැනත් බොහෝ දෑ හෙළි කළා.

සැමියාගේ වියෝවෙන් මාසයකුත් ගතවෙලා නේද?

ඔව්. බොහොම දුකෙන් සහ පාළුවෙනුයි මම මේ දිනවල කාලය ගත කරන්නේ. කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහේ මානසික තත්ත්වයක් මට දැන් නැහැ. මට මගේ සැමියා නැති වුණා. දුවටයි පුතාටයි ඔවුන්ගේ ආදරණීය පියාණන් නැති වුණා.

ඔහු කාලයක් තිස්සේ අසනීපෙන්ද හිටියේ?

ඔව්. ඔහුට කිසිදු අසනීපයක් තිබෙනවා කියලා කලින් හඳුනාගෙන තිබුණෙ නැහැ. මහත්තයාට පෙණහලු පිළිකාවක් කියලා දැනගන්නා විටත් පරක්කු වැඩියි. ඒ සියල්ල සිද්ධ වෙන්න ගතවුණේ මාස තුනක් වගේ කාලයක් විතරයි.

සැමියාගෙන් ඔබේ කලා ජීවිතයට විශාල පන්නරයක් ලැබෙන්න ඇති?

ගීත රචකයෙක්, තිරපිටපත් රචකයෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක් වගේම මාධ්‍යවේදියෙකු ලෙසත් ඔහු කටයුතු කළා. ඇත්තටම මගේ කලා ජීවිතේ සෙවණැල්ල බවට පත්වෙලා හිටියේ ඔහුයි. ඔහුගේ වියෝවෙන් අද මගේ මුළු ලෝකයම කඩා වැටිලා වගෙයි මට දැනෙන්නේ.

ඔබ දෙදෙනාව එකතු කළෙත් කලාවද?

ඔව්. අපි විවාහ වෙලා අවුරුදු 43ක් එකට ගත කළා. 'හිතක පිපුණු මල්' කියන චිත්‍රපටයේ රඟපෑම සඳහා මට ආරාධනා කරන්න ඇවිල්ලයි ඔහු මාව මුලින්ම හඳුනාගත්තේ. ෂෙල්ටන් ප්‍රේමරත්නත් එදා ඔහු සමග හිටියා. රඟපෑමට කරපු ආරාධනාව ප්‍රතික්ෂේප කරලා ගීත ගයන්න පමණක් මම කැමැත්ත පළකළා. ඒ විදියට ඇතිවුණු දැනහැඳුනුම්කම තමයි විවාහය දක්වා දුරදිග ගියේ.

සැමියාගේ වියෝවට කලින් මෑත කාලීනව ඔබේ අලුත් ගීත අහන්නට ලැබුණේ බොහොම අඩුවෙන් නේද?

ඔව්. අලුත් පද රචිකාවකගේ ගීතයක් පමණයි මම මෑතකදී පටිගත කළේ. ඒක කළෙත් ඇයගේ පෙරැත්තය නිසාමයි.

ගායන කටයුතුවල යෙදුනා ඇති කියලා හිතුණු නිසාද ගායනය සීමාකළේ?

එහෙම දෙයක් නෑ. මගේ උගුරේ ඇතිවුණු ආබාධයක් නිසයි මට මගේ ගායනයත් සීමාකරන්න වුණේ. මගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවුණු වර්ධනයක් බොහොම නරක තත්ත්වයකට හැරුණා. අන්තිමේදී මහත්තයා ප්‍රතිකාර සඳහා මාව සිංගප්පූරුවට රැගෙන ගියා. එහිදී කරපු ප්‍රතිකාරවලින් මගේ හයි ටෝන් එකට අදාළ මාංශ පේශීය අහිමි වුණා.

ඒක ඔබේ ගායන දිවියට විශාල බලපෑමක් එල්ල කරාවිද?

ඔය කියන ගැටලුව නිසා මට ගායනයේදී අවශ්‍ය පරාසයන්ට යෑමේ අපහසුවක් තියෙනවා. වෛද්‍යවරු නම් කියන්නේ ව්‍යායාම කළොත් කටහඬ නැවත යථා තත්ත්වයට පත්කරගන්න පුළුවන් වේවි කියලයි.

ඔබ කාලයක් රියැලිටි තරග විනිශ්චය මණ්ඩලවල සුපුරුදු මුහුණක් බවට පත්වී හිටියා. දැන් ඒවාට දායක වීමත් සීමා කරලාද?

එහෙම දෙයක් නෑ. ආරාධනා ලැබෙන විදිහට මම ඒවා සඳහා දායක වෙනවා.

ගායක ගායිකාවන් තෝරන රියැලිටි තරගවලදී විනිශ්චය මණ්ඩලය අදහස් පළකරන්නේ අදාළ වැඩසටහනේ
නිෂ්පාදකවරුන්ට අවශ්‍ය විදිහටයි කියලා අදහසක් ජනතාව අතරෙ තිබෙනවා. ඒ කතාව ඇත්තක්ද?

ඒ කාරණය මුළුමනින්ම අසත්‍යයක්. මට නම් කවදාවත් එවැනි බලපෑම් එල්ල වෙලා නැහැ. එවැනි බලපෑම් කළා නම් මම ඒ විනිශ්චය මණ්ඩලවල ඉන්නෙත් නැහැ.

කිෂාන් කනංකේ (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැමියා නැති වුණා කටහඬ බොඳ වුණා මගේ මුළු ලෝකයම කඩා වැටිලා"

    Post a Comment