20 May, 2017

දේපළ ඉල්ලා අම්මාට දස වධ දුන් පුතා උසාවියේදී දෙපතුළ ළඟ වැඳවැටේ

beaten-man-women

තම මවගේ දේපළ ඉඩකඩම් ආදිය තමා නමට පවරන ලෙස ඉල්ලා "තෝ මාව හැදුවේ මේ බඩ තුළ (කුස තුළ) තියාගෙන" දැයි ප්‍රශ්න කරමින් තම 80 වියෑති වයෝවෘද්ධ මවට ක්‍රෑර ලෙස පහරදී ඇගේ බඩ පෑගීම නිතර සිදුකළ පුතකු මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ තම මහලු මවගේ දෙපා වැඳ සමාව ඉල්ලීමේ සිද්ධියක්‌ 18 දා මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී එහි සිටි ජනයාට දැකගත හැකි විය.

කොච්චිකඩේ පොලිසියේ සැරයන් (45557) ජයන්ත රූපසිංහ මහතා විසින් අධිකරණය හමුවට පමුණුවන ලද එම විත්තිකරු පුතා වූයේ කටාන, බටපොත (45) හැවිරිදි අයෙකි.

නඩුව කැඳවූ අවස්‌ථාවේ අනාවරණය වූ කරුණු අනුව මෙම සැකකාර පුතා සහ පැමිණිලිකාර මව වෙන් වෙන් නිවාස දෙකක ජීවත් වෙති. එහෙත් තම මවගේ නිවසට නිතර නිතර පැමිණෙන විත්තිකාර පුතා තම මවට ක්‍රෑර ලෙස පහරදී ඇගේ බඩ පාගා දේපළ ඔහුට ලබාදෙන ලෙසට ඉල්ලා සිටීම පුරුද්දක්‌ කොටගෙන ඇත. පුතාගේ ක්‍රෑරත්වය ඉවසිය නොහැකි අවස්‌ථාවේ වයෝවෘද්ධ මව පොලිසියේ පිහිට පතා ඇත. එහිදී පොලිසිය දෙපාර්ශ්වය අධිකරණය හමුවට පැමිණ වූ අවස්‌ථාවේ විසඳුම් පතා මව සහ පුතා සමථ මණ්‌ඩලය වෙත යොමුකර ඇත.

එහෙත් විත්තිකාර පුතා සමථ මණ්‌ඩලය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුට යළිත් වරක්‌ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර ඇත.

මෙහිදී ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පැමිණිලිකාර මවගෙන් "ඉල්ලා සිටින සහන මොනවා දැයි" ප්‍රශ්න කළ අවස්‌ථාවේ තමා පුතාගේ ක්‍රෑර පහරදීම්වලින් මුදා දෙන ලෙසට බැගෑපත්ව ඉල්ලා සිටියාය. මෙහිදී විත්තිකාර පුත්‍රයාට ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා යළි තම මවට හිරිහැර නොකරන ලෙසට තරයේ අවවාද කළේය. කොච්චිකඩේ පොලිසියේ සැරයන් (45557) ජයන්ත රූපසිංහ මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගයනි පෙරේරා මහත්මිය පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් (මහලු මව වෙනුවෙන්) ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය.

මීගමුව සමූහ - විමල් කීර්ති (divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දේපළ ඉල්ලා අම්මාට දස වධ දුන් පුතා උසාවියේදී දෙපතුළ ළඟ වැඳවැටේ"

    Post a Comment