27 May, 2017

මොරටුවේ සරනේලිස්ට අවුරුදු 104යි

Saraneris Moratuwa age 104-1

හතර පෝයට සිල් ගනී ඉහෙන් බහින රෝගත් නෑ.

කෙනෙකුට වසර සීයයකට වඩා ජීවත්වීමට ලැබෙන්නේ නම් එය භාග්‍යකි. එය වඩාත් කැපී පෙනෙන්නේ කිසිඳු රෝගයක් නැතිව හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ජීවත්වීමට හැකියාව ලදහොත්ය.

මොරටුව, ඉඩම, චාල්ස් ද සොයිසා පෙදෙස, අංක 16 සමනළ නිවෙසේ පදිංචි හේවානැදුන්ගොඩගේ සරනේලිස් මහතාද එවැනි අයෙකි. 104 වැනි වියේ පසුවන ඔහු අදටත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන්නෙකි. සරනේලිස් මහතා 1913 දෙසැම්බර් මස 11 වන දා මෙළොව එළිය දකින්නේ මාතර තිහගොඩ ගමේය. 

ගමේ විදුහල වූ තිහගොඩ විදුහලෙන් අධ්‍යාපනය හදාරන ඔහු එම සුන්දර ගම අතහැර මොරටුව වෙත පැමිණෙන්නේ 1938 වසරේදීය. එවිට ඔහුට වයස 25ක් වූ අතර ඔහු නතර වන්නේ තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන දියෝනිස්ගේ කාමරයේය. දියෝනිස් කොළඹ වාරායේ රැකියාවක් කළ අයෙකි. මොරටුවට පැමිණීමෙන් පසු තම සහෝදරයාගේ සහය ද ඇතිව සරනේලිස් කුඩා වෙළෙඳාමක් පටන් ගත්තේය.

1945 ජනවාරි 01 වැනි දා මාතර මාලිම්බඩ පදිංචි කංකානම්ගේ ගිමාරා කරුණාවතී මෙනවිය සමඟ සරනේරිස් විවාහ වන්නේය. මේ දෙපළට දාව දූ දරුවන් 10 දෙනෙක් ලැබෙන අතර කරුණාදාස, ධනපාල, නන්දරත්න, සිරිසේන, ගුණසේන, දයානන්ද, චන්ද්‍රසිරි, රත්නසිරි පිරිමි දරුවන් වන අතර අනුලාවතී හා අමරාවතී ගැහැණු දරුවන්ය. මෙයින් ගුණසේන මියගොස් ඇති අතර අනිත් දරුවන් ජීවත් වේ. මුණුපුරු මිණිපිරියන් සංඛ්‍යාව 52කි. මේ වන විට ගිමාරා කරුණාවතී මහත්මිය රෝගී තත්ත්වයෙන් පසුවන අතර ඇයගේ වයස 96කි

ඉතාමත් හොඳ බෞද්ධයකු වූ සරනේරිස් මහතා සෑම පෝයටම සිල් සමාදන් වේ. කිසිදා මත්පැන් හෝ දුම්වැටි පාවිච්චි කර නොමැති සරනේලිස් මහතා අවුරුදු 104ක් වෙලත් තමන් නිරෝගීව සිටින්නේ ඒ නිසා යැයි කියා සිටී. සරනේලිස් මහතා - මට අවුරුදු 104යි. මගේ බිරියට 96යි. ඇය රෝගීව ඇඳේ සිටින්නේ නමුත් මගේ දරුවන් සියලුදෙනා අපි දෙන්නට හරි ආදරෙයි. මේ මහලු වයසෙදිත් අපි දෙන්නට හොඳට සලකනවා. 

අපි දෙන්නා බොහොම දුක් මහන්සි වෙලා තමයි මේ දරුවෝ 10 දෙනා ලොකු මහත් කරලා සමාජයට දායාද කළේ. මට මතකයි දරුවන් කුඩාකල ගෙදර කිරි හරක් ඇති කරා ඉන් පසුව සිල්ලර කඩයක් දමා ගත්තා. ඒ කාලේ මොරටුව ප්‍රදේශයේ එතරම් ගෙවල් නෑ. දරුවන්ට සෙල්ලම් කිරීමට විශාල ප්‍රදේශයක් තිබුණා දැන්නම් ජනාකීර්ණ වෙලා. ඒ කාලේ වෙසක් බලන්න කොළඹට ගියේ පයින්. මා දේශපාලනය කළේ නැතත් වාමාංශික අදහස් සහ ක්‍රියාමාර්ගවලට සහයෝගය දීමක් තිබුණා. එන්. එම්.පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැනි නායකයන් මගේ වීරයන්.

සරනේලිස් මහතා මොරටුව හොරේතුඩුව ශ්‍රී සංඝිකාරාම පුරාණ මහ විහාරයේ (නා ගහ වරාය විහාරස්ථානයේ) පැරණිම දායකයෙකි. ඔහුට වසර 100 පිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයෙන් හා මොරටුව ඉඩම ජේෂ්ඨ පුරවැසි සංවිධානයෙන් සමරු පළකයන් පිළිගන්වා ඇත. 

තම මවුපියන් නොසලකා හැර පාරේ දමා යන කාලයක සරනේලිස් මහතාගේ දූ දරුවන් තම මවත් පියාත් වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කරමින් ඔවුන් දෙදෙනා රැකබලා ගැනීම ආදර්ශවත් කටයුත්තක් වේ. බාල පුතුණුවන් වන රත්නසිරි මහතාගේ නිවසේ මේයුවළ පදිංචි වී සිටින අතර රත්නසිරි මහතා හා ඔහුගේ බිරිය වන දිස්නා මහත්මිය මේ දෙපළට කරන සත්කාර ප්‍රශංසනීය වේ.

රාවතාවත්ත සමූහ - රෝහණ ද සිල්වා (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මොරටුවේ සරනේලිස්ට අවුරුදු 104යි"

    Post a Comment