27 May, 2017

සිහින් නිමාවකට සංයුක්ත කළ ප්‍රබල පරිගණක බලය

2017 HP Spectre X2-01

ලැප්ටොප් පරිගණක වල පරිණාමය සලකා බැලූ විට පැහැදිලිවම පෙනෙනා කරුණ වන්නේ ඒවායේ ප්‍රබලත්වය මෙන්ම හැකි තරම් සිහින් නිමාවකින් යුතුව මෙම උපාංග නිෂ්පාදනය කිරීමද ලැප්ටොප් නිර්මානපක්කයින් විසින් එක හා සමාන ප්‍රමුඛතාවයන් ලෙසින් සලකන බවයි.

විශේෂයෙන්ම එක් වෙළඳ නාමයක් මගින් සිහින් නිමාවකින් යුතු උපාංගයක් නිකුත් කිරීමත් සමගින්, තරගකාරී අනෙක් වෙළඳ නාමයන් උත්සාහ කරන්නේ තමන්ගේ මීළඟ ලැප්ටොප් උපාංගය හැකිනම් වඩාත් සිහින් නිමාවකින් යුතුව නිෂ්පාදනය කිරීමටත්, අනෙක් තරගකාරී උපාංගයන්ට වඩා වැඩි පරිගණක දෘඩාංග බලයක් ඊට ඇතුළත් කිරීමටත් වේ.

මීට දින කිහිපයකට පෙරාතුව ප්‍රමුඛතම ලැප්ටොප් නිෂ්පාදකයෙකු වන HP සමාගම මගින් තම ලැප්ටොප් පරිගණක පෙළ සඳහා යාවත්කාලීනයන් ගණනාවක් නිවේදනය කරන ලදී. කෙසේ නමුත් මේවායින් බොහෝ දෙනෙකුගේ ඇස් යොමුවූ උපාංගය වූයේ HP Spectre X2 හි යාවත්කාලීන කළ සංස්කරණය වූ 2017 HP Spectre X2 උපාංගයයි.

මෙය Surface Pro උපාංගය සඳහා හොඳ තරගයක් දිය හැකි, වඩාත් හොඳ තරගකරුවෙකු බව පැහැදිලිවම පෙනී යන අතර, වඩාත් ප්‍රබල ලැප්ටොප් උපාංගයක් HP මගින් නිකුත් කරන තුරු තරගයේ ඉදිරි පෙළ ‍රැකගෙන සිටීමට හැකියාවක්ද මෙයට තිබේ.

මින් පෙර HP Spectre X2 ලැප්ටොප් උපාංගයට තිබූ බරපතළ ගැටළුවක් වූයේ එයට ක්‍රියාත්මක විය හැකි වූයේ Core M ප්‍රොසෙසරයන් සමගින් පමණක් වීමයි. මෙය සාමාන්‍ය පරිශීලකයෙකුට ගැටළුවක් නොවූවත්, ඉහළ මට්ටමේ වැඩකටයුතු සඳහා දෘඩාංග හැකියාවන් ඉහළින් බලාපොරොත්තු වන පරිශීලකයින් සඳහා එය සිත් කළකිරවන ගැටළුවක් වී තිබිණි.

කෙසේ වුවත් මෙම වසරේ යාවත්කාලීන කළ 2017 HP Spectre X2 ලැප්ටොප් උපාංගය මගින් මේ සඳහා පිළියම් යොදා ඇති අතර, මිලිමීටර 13.2 ක ප්‍රමාණයේ සිහින් බඳක් සහිත පරිගණකය බලගැන්වීම සඳහා Seventh-gen Core i මධ්‍යම සැකසුම් ඒකකයක් ස්ථාපනය කොට තිබේ. සැබවින්ම මෙය ලැප්ටොප් උපාංගයක් ලෙසින් හැඳින්වීම නිවැරදි නොවේ. මෙය ලැප්ටොප් උපාංගයක් බවට පෙ‍රැළිය හැකි ටැබ්ලට් උපාංගයක් යැයි කීම වඩාත් නිවැරදි නිර්වචනයයි.

කෙසේ නමුත් පැරණි Spectre X2 උපාංගයට වඩා, යාවත්කාලීන කළ 2017 HP Spectre X2 උපාංගය වඩාත් වෘත්තිය මට්ටමේ ලැප්ටොප් එකක් ලෙසින් පෙනී යයි. එයට අමතරව මෙය කදිම drawing tablet උපාංගයක් ලෙසින්ද භාවිත කළ හැකි වීම, චිත්‍ර ශිල්පීන් හෝ කාටූන් ශිල්පීන් වැනි නිර්මාණකරණයේ යෙදෙන්නන්ට සුභ ආරංචියක් වනු ඇත.

මෙම 2017 HP Spectre X2 ටැබ්ලට් උපාංගය ලැප්ටොප් එකක් බවට පරිවර්තනය කිරීම සඳහා කළ යුත්තේ සිහින්ව නිමාකොට ඇති සම්පූර්ණ ප්‍රමාණයේ යතුරු පුවරුව, චුම්බකිත අල්ලු මගින් ටැබ්ලට් එකට සවි කිරීමයි. එසේම මෙහි පසුපස කික්-ස්ටෑන්ඩ් එකක්ද ඇති අතර, එයින් වඩාත් පහසුවෙන් යතුරු ලියන කටයුතු වුවත්, චිත්‍ර ඇඳීමේ කටයුතු වුවත්, චිත්‍රපටයක් නැරඹීම වැනි කටයුත්තක් වුවත් සිදු කිරීමට හැකියාව තිබේ.

මෙහි අඟල් 12.3 ක තිරය ලැප්ටොප් උපාංගයක් සඳහා ප්‍රමාණවත් නොවේ යැයි කෙනෙකුට හැඟී යා හැකි වුවත්, මෙය ටැබ්ලට් උපාංගයක් ලෙසින් සැලකීමේදී ඊට වඩා වැඩි තිර මට්ටමක් භාවිතය කරදරකාරී වනු ඇත.

මෙහි තිරයේ විභේදනය 3,000x2,000 ප්‍රමාණයේ වන අතර, සමාගම පවසන ආකාරයට මේතාක් දුරට HP සමාගම මගින් නිර්මාණය කොට ඇති දීප්තිමත්ම තිරය 2017 Spectre X2 උපාංගය සඳහා භාවිත කොට ඇත. එය නොතකා බැලුවද, 2017 Spectre X2 උපාංගයේ තිරයේ සුපැහැදිලි තාවය සහ දීප්තිමත් වර්ණ පරාසය ඉතාමත් විශිෂ්ට මට්ටමක ඇති බව කීමට හැක.

මෙහි ඇති අනෙකුත් දෘඩාංග හැකියාවන් සම්බන්ධයෙන් විස්තර කරන්නේ නම්, Intel Iris graphics ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයක් මෙහි තිබේ. ගිගාබයිට් 16ක ‍රැම් මතකයක් සහ ටෙරාබයිට් 1 ක SSD අභ්‍යන්තර මතකයක් මෙහි තිබේ. එසේම උපාංගය සිසිල් කිරීම සඳහා ද්විත්ව සිසිලන පංකා පද්ධතියක් පිහි‍ටුවා ඇති අතර, Bang & Olufsen ස්පීකර පද්ධතියක්ද මෙහි තිබේ.

මෙහි USB Type-C පෝට් දෙකක්ද ඇත. මෙයට අමතරව එක් වරක් මෙහි බැටරිය ආරෝපණය කිරීමෙන් පැය අටක් දක්වා උපාංගය ක්‍රියාත්මක කිරීමටද හැකියාව තිබේ. මෙහි ඇති fast-charging හැකියාව සමගින් එය විදුලියට සවි කොට මිනිත්තු 30ක් තුළදී උපාංගයේ බැටරිය 50%ක් දක්වා ආරෝපණය කිරීමටද හැකියාව ඇත.

බොහෝ විට වඩාත් විශාල ලැප්ටොප් පරිගණකයන්ට හුරුවී සිටිනා පරිශීලකයින් මෙම උපාංගය එතරම් සාදරයෙන් පිළිගනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. එසේ වුවත් අඟල් 12.3ක තිරය සහ මිලිමීටර් 13.2 ක සිහින් ප්‍රමාණයේ බඳක් සහිත 2017 Spectre X2 උපාංගයේ ජංගම හැකියාව සහ හුරුබුහුටි බවත් සමගින් එක් තැන්වූ ප්‍රබල පරිගණක බලය සම්බන්ධයෙන් සිතා බැලීමේදී, නිර්මාණ කාර්යයන්හි යෙදී සිටින්නන් මෙන්ම ව්‍යවසායකයින්ද ඇතුළු වෘත්තිකයින් මෙයට ආකර්ෂණය වනු ඇතැයි සිතිය හැක.

එමෙන්ම මෙම සියලු ගුණාංගයන් එක්තැන් වූ 2017 Spectre X2 උපාංගයේ බදු රහිත මිලද රුපියල් 150,000 ඉක්මවන බැවින්, මෙය මිලදී ගැනීම සඳහා උනන්දු වනු ඇත්තේ මෙහි ප්‍රබලත්වයෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ගැනීමට සිතනා වෘත්තිකයින් පමණක් වනු ඇති බවද ප්‍රවේසම් සහගතව උපකල්පනය කිරීමට හැකිවනු ඇත.

2017 HP Spectre X2-2017-05-26-23-21-14

(පැතුම් පුංචිහේවා - ada)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිහින් නිමාවකට සංයුක්ත කළ ප්‍රබල පරිගණක බලය"

    Post a Comment