15 May, 2017

හාවො, කැරපොත්තො කද්දි අප්පිරියා හිතුණා

Saheli Sadithma Satharasinghe

මේ දිනවල තිරගත වන ‘බන්ධනය’ චිත‍්‍රපටයේ සුමනාගේ චරිතයට පණ පොවන පුංචි රංගන ශිල්පිනිය සහේලි සදිත්මායි. ‘ සුජාතා ‘ ටෙලිනාට්‍යයේ සුජාතාගේ කුඩා කළ චරිතය රඟපාමින් රංගන දිවියට පිවිසි ඇය තවමත් පාසල් දරුවෙකි. මේ ඒ පුංචි සිඟිත්තිය සමග කළ කතා බහයි.

සහේලිගේ සම්පූර්ණ නම මොකක්ද ?

සහේලි සදිත්මා සතරසිංහ.

වයස කීයද ?

අවුරුදු 9 යි.

සහේලි මේ දවස්වල ගොඩක් ජනප‍්‍රියයි නේද?

ඔව්. ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. බන්ධනය චිත‍්‍රපටය මගේ යාළුවෝ ගොඩක් බලලා තිබුණා. ටිකක් බය හිතුණා කිව්වා හැබැයි.

සහේලි මේ ඔයාගේ කීවෙනි රඟපෑමද ?

මගේ පළවෙනි ටෙලිනාට්‍යය සුජාතා. පළවෙනි චිත‍්‍රපටය බන්ධනය.

තව මොන නිර්මාණවලට ද දායක වෙලා තියෙන්නේ?

ආනන්ද අබේනායක අංකල්ගේ ‘තාරා ‘ නාට්‍යයේ රගපෑවා. සවර්ණවාහිනියේ ‘සී රජ ‘ නාට්‍යයෙත් රගපෑවා. ‘දේදුණු ආකාසේ ‘ කියලා ෆිල්ම් එකක් එන්න තියෙනවා.

ඉස්සෙල්ලාම කැමරාවට මුහුණ දෙද්දී මොනවද හිතුණේ ?

බයක් හිතුණේ නැහැ. පුංචි උගන්නලානේ තිබුණේ.

බන්ධනය චිත‍්‍රපටයට කවුද ඔයාව තෝරා ගත්තේ ?

ආනන්ද අබේනායක අංකල්ගේ ‘තාරා ‘ නාට්‍යයේ මම රගපෑවා. ඒ නාට්‍යයේ රගපෑවේ සුජාතා පේ‍්‍රමරත්න ආන්ටි එක්ක. උදයකාන්ත අංකල් ඒ ආන්ටිට කියලා තියෙනවා ෆිල්ම් එකකට හරියන ළමයි කීපදෙනෙක් හොයලා දෙන්න කියලා. ඉතිං සුජාතා ආන්ටි මාව උදයකාන්ත අංකල්ට හඳුන්වලා දුන්නා. ඊට පස්සේ අංකල් මගේ රංගන හැකියාව බලලා මාව මේ චරිතයට තෝරගත්තා. අම්මයි, තාත්තයිත් කැමති වුණා.

මේ චිත‍්‍රපටය කරද්දී සහේලිට බය හිතුණද ?

නෑ ඉතින්. මට බය හිතෙන්නේ නෑනේ.

බන්ධනය චිත‍්‍රපටයේ චරිතය මොනවගේද ?

සුමනා කියන්නේ සාමාන්‍ය ළමයෙක්. සුමනාට බන්ධනයක් කරලා හොල්මනක් වැහෙනවා. මහසෝනාව තමයි වැහෙන්නේ.

සහේලිට ඒ චිත‍්‍රපටයේ මොනවගේ දේවල් ද කරන්න තිබුණේ ?

හොල්මන් චරිතයක් කරන්න තිබුණේ. හාවෝ, හූනෝ, කැරපොත්තෝ වගේ සත්තු කන්න තිබුණා. ඒ දේවල් කරද්දී නම් ඇත්තටම අප්පිරියා හිතුණා.

රඟපාද්දී අනෙක් නැන්දලා මාමලාගෙන් ලැබුණු සහයෝගය කොහොමද ?

වැඩියෙන්ම උදව් කළේ උදයකාන්ත අංකල්. තව ගොඩාක් අය උදව් කළා.

සහේලිට දෙබස් මතක තියාගන්න අමාරු වුණේ නැද්ද ?

බන්ධනය ෆිල්ම් එකේ නම් එච්චරම දෙබස් තිබුණේ නැහැ. හොල්මන් කරනකොට තමයි වැඩිපුරම දෙබස් තිබුණේ. ඒවා ඉතින් ඒ වෙලාවට කියන්න ඕනේ නෑ. හඬකැවීම් කරන වෙලාවට තමයි කියන්නේ.

සහේලිව දකිද්දී යාළුවෝ මොකද කියන්නේ?

ඒ ගොල්ලෝ මගේ ඇක්ටින් හොඳයි කියලා කියනවා. ඒ වගේ හොඳ ප‍්‍රතිචාර තියෙනවා.

එතකොට ඔයාට මොකද හිතෙන්නේ ?

එයාලා එහෙම කියද්දී මම ඒක හොඳට කළා කියලා සතුටු හිතෙනවා.

මේ චිත‍්‍රපටයෙන් පස්සේ සහේලිට තවත් නිර්මාණවලට ආරාධනා ලැබුණද ?

ඩොනල්ඞ් අංකල් චිත‍්‍රපටයක් කරන්න කතා කරලා තියෙනවා.

සහේලිගේ ඉස්කෝලේ මොකක්ද ?

සංඝමිත්තා බාලිකා විද්‍යාලය.

රඟපෑම නිසා ඉස්කෝලේ වැඩ පාඩු වෙන්නේ නැද්ද ?

ටීච යාලූවන්ගෙන් පොත් ඉල්ලලා දෙනවා, අඩුපාඩු හදාගන්න.

සහේලිගේ හොඳම යාළුවා කව්ද ?

එහෙම යාළුවෙක් නම් නැහැ. ඔක්කොම යාළුවෝ තමයි.

කැමතිම විෂය මොකක්ද ?

පරිසරය.

වැඩිපුරම ලකුණු තියෙන්නේ ?

එහෙම නම් මතක නෑනේ.

සහේලිගේ පවුලේ කව්ද ඉන්නේ ?

අම්මයි, තාත්තයි, නංගී, මායි. එච්චරයි.

සහේලි ෂූටින්වලට යන්නේ කාත් එක්කද ?

තාත්තා තමයි මාත් එක්ක වැඩිපුර යන්නේ. අම්මට නංගි බලාගන්න තියෙන නිසා තාත්තා එක්ක තමයි යන්නේ.

සහේලි ලොකුවෙලා කවුරු වෙන්නද කැමති ?

නිළියක් වෙන්න තමයි.

ඇයි ඒ ?

මට හොඳට රංගන හැකියාව තියෙන නිසා දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න කැමතියි.

සඳුනි ඉමල්කා (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හාවො, කැරපොත්තො කද්දි අප්පිරියා හිතුණා"

    Post a Comment