23 May, 2017

චිත්‍රපටයේ වැඩ පටන් ගත්දා ඉඳන් මේ වන තුරුත් බියර් වීදුරුවක්වත් කටේ තියලා නැහැ - කමල්

Kamal Addararachchi - Ginnen Upan Seethala

ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු විදිහට කවුරුත් දැන හඳුනාගෙන සිටින කමල් අද්දර ආරච්චිට පසුගිය දිනවල එක්තරා විදිහක අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතයට පණ පෙවීමට සිදුවීම. අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය වෙනුවෙනුයි ඔහු එම අභියෝගය බාරගත්තේ. මේ වන විටත් සිනමා ලෝලීන් අතර විශාල අවධානයක් දිනාගෙන තිබෙන “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වූ හැටියේ එහි අත්දැකීම් “අප” සමග බෙදා හදා ගන්න කමල් අද්දර ආරච්චි අමතක කළේ නැහැ. 

කමල්ට ආයෙමත් විවේකයක් ලැබිලා නේද?
ඔව්. “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ රූගත කිරීම් මීට සතියකට විතර කලින් අවසන් වුණා. ඒ නිසා මේ දවස්වල ටිකක් විවේකයෙන් ඉන්නවා.

කොච්චර කාලයක් චිත්‍රපටය වෙනුවෙන් වෙහෙසෙන්න වුණාද?
මට මාස 1 1/2 විතර රූගත කිරීම්වලට දායක වෙන්න වුණා.

රූගත කිරීම් අවසන් වෙලා තමන් රඟපෑ චරිතය දෙස ආපසු හැරිලා බලද්දි මොනවාද හිතෙන්නේ?
මට හිතෙනවා මම ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කළා කියලා. රෝහණ විජේවීර කියන චරිතය ගැන විශාල ගවේෂණයක් කරලයි මම චරිතයට අවතීර්ණ වුණේ. මම හිතනවා මගේ උත්සාහය සාර්ථකයි කියලා.

එවැනි චරිතයක් රඟපෑම නළුවෙකුට අභියෝගයක්ද?
ඇත්තෙන්ම ඔව්. මොකද මම රඟපෑවේ කවුරුත් දන්නා කියන ජීවමාන චරිතයක්. ඒ නිසා මට ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න සිදු වුණා.

මේ චරිතය අභියෝගයක් කියලා වැඩිපුරම දැනුණ අවස්ථාවක් සිහිපත් කරන්න පුළුවන්ද?
රෝහණ විජේවීරගෙ පෙනුම ගන්න මට බොරු දත් කුට්ටමක් පලඳින්න වුණා. ඔහු ඉතා වේගවත්ව කතා පැවැත්වූ කෙනෙක්. ඉතින් මගේ දත්වලට අමතරව තවත් දත් කුට්ටමක් කටේ තියෙද්දි එවැනි දර්ශන රඟපාන එක පහසු දෙයක් වුණේ නැහැ. ඒ අපහසුතාවලින් මිදෙන්න මට ඇතැම් විට මගේම ශිල්පක්‍රම භාවිත කරන්න සිද්ධ වුණා.

දර්ශන තලයේදී ඔබට හොඳ ප්‍රතිචාර ලැබුණා කියලා ආරංචියි?
ඔව්. රෝහණ විජේවීරට ගරු කරන බොහෝ අය රූගත කිරීම් බලන්න ඇවිත් හිටියා. දර්ශන තලයේදී ඔවුන් ඉදිරියේ බොහොම සංවරව තමයි මට හැසිරෙන්න සිදුවුණේ.

ඒ සංවරකම ඔබ සැබෑ ජීවිතයටත් එකතු කරගත්තා කියන්නේ ඇත්තද?
යම් චරිතයක් රඟපාන්න නළුවෙක් පේවෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අනෙක ඒ චරිතයට අදාළ ලක්ෂණ තමන්ගේ සැබෑ ජීවිතයටත් එකතු කරගෙන රඟපෑ යුතුයි කියන මතයේ මම නැහැ. හැබැයි මේ චරිතය රඟපාපු කාලය තුළදී නම් මට අමද්‍යප වෙන්න වුණා.

ඒ ගැන ටිකක් විස්තර කළොත්?
චිත්‍රපටයක් රූගත කරන කාලෙට නළු නිළියන් ඇතුළු කණ්ඩායම එකතුවෙලා වයින් එකක් බියර් එකක් බිලා සවුදිය පුරන එක සාමාන්‍ය දෙයක්නේ. හැබැයි මේ චිත්‍රපටය අතරතුරදී නම් මට එහෙම කරන්න හිතුණේ නැහැ.

ඇයි එහෙම වුණේ?
රෝහණ විජේවීර කියන්නේ සිගරට් හෝ මත්පැන් නොබිපු කෙනෙක්. නමුත් සැඟවී සිටින කා‍ලේ තමන් සිගරට් මත්පැන් බොන කෙනෙක් විදිහට සමාජයට පේන්නයි ඔහු ඒවා නිවසේ තියාගෙන හිටියේ. මොන හේතුවක් නිසාද මන්දා චිත්‍රපටයේ වැඩ පටන් ගත්දා ඉඳන් මේ වන තුරුත් මමත් බියර් වීදුරුවක්වත් කටේ තියලා නැහැ.

තවත් අභියෝගයක් බාරගන්න සූදානමින්ද මේ දිනවල ඉන්නේ?
මම කොහොමත් මට ලැබෙන ආරාධනා හොඳට තෝරා බේරාගෙන බාරගන්නා නළුවෙක්. හැබැයි මෙදා පාර නම් මට වැඩි කාලයක් විවේකයෙන් ඉන්න බැරි වේවි.

ඒකට හේතුව?
ජයන්ත චන්ද්‍රසිරිගේ මීළඟ සිනමා නිර්මාණයේ රූගත කිරීම් අද හෙටම පටන් ගන්නවා. චිත්‍රපටයේ නම ඝරසර්ප. මටත් එහි ප්‍රධාන චරිතයක් වෙන් වෙලා තියෙනවා.

කිෂාන් කනංකෙ (lakbima)

ඡායාරූප: ෆ්‍රෑන්ක් ද සොයිසා

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "චිත්‍රපටයේ වැඩ පටන් ගත්දා ඉඳන් මේ වන තුරුත් බියර් වීදුරුවක්වත් කටේ තියලා නැහැ - කමල්"

    Post a Comment