14 May, 2017

'යුග පිහිටවන්නවත් ආදරවන්තයා වෙන්නවත් අදහසක් නැහැ'

Hemal Ranasinghe-09

සිංහල සිනමාවේ හිඳින කඩවසම් රංගන ශිල්පියෙකු වන හේමාල් රණසිංහ මේ දිනවල තිරගතවන උදයකාන්ත වර්ණකුලසූරියගේ බන්ධනය චිත්‍රපටය තුළින් ඔබ හමුවෙයි. බන්ධනයෙහි තොරතුරු මෙන්ම හේමාල්ගේ නවතම තොරතුරුද දැන ගන්න හේමාල් පළ කළ අදහස්..

Zoom චිත්‍රපටයෙන් පසු හේමාල් රණසිංහ ආයෙමත් අපට දකින්න ලැබෙන්නේ බන්ධනයෙන්. මේ චිත්‍රපට දෙකේම කතා තේමාවෙහි යම් සමානත්වයක් තියෙනවා නේද?

නැහැ කොහෙත්ම නැහැ. මේ චිත්‍රපට දෙකම වෙනස් තේමාවන් දෙකක්. ඒ වගේම Zoom චිත්‍රපටය කරලා ගොඩක් කල්. නමුත් බන්ධනය කළේ මෑතකදි.

ආදරණීය කතාවක් සහ ප්‍රවේගය චිත්‍රපටවලට වඩා ඔබේ රංගනයෙනුත් වෙනසක් කරන්නට බන්ධනය සමත් වුණාද?

ඔව් මතෛක් කරපු නැති විදියේ වෙනස් විදියක චරිතයක් තමා බන්ධනයේ කරන්නේ. නමුත් ඒ වෙනස ගැන හරියටම දන්නේ ප්‍රේක්ෂකයෝ තමයි. මගේ හැම චිත්‍රපටයක්ම රස විඳින ඒ අයට දැනෙන විදිය තමා ඇත්තම වෙනස. මම මට ලැබෙන චරිත වෙනස් විදියට කරන්න උත්සාහ කරනවා.

Zoom චිත්‍රපටිය අසාර්ථකයි කියලා සමහර දෙනා කියනවා ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

බහුතර මතය මම පිළිගන්නවා. චිත්‍රපටයේ සාර්ථක අසාර්ථක බව තීරණය කරන්න ප්‍රේක්ෂකයන්ට පුළුවන්.

බන්ධනය චිත්‍රපටියේ ඔබ කරන චරිතය ගැන තෘප්තිමත්ද?

ඔව්. ඇත්තටම බන්ධනය චිත්‍රපටයේ චරිතය මම ගොඩක් කැමැත්තෙන් වගේම ලොකු කැපකිරීමක් කළා. ඒ වගේම එය මට වෙනස්ම විදියේ අත්දැකීමක් වුණා. අධ්‍යක්ෂවරයා ඇතුළුව සියලුම රංගන ශිල්පීන් මට ලොකු සහයක් දුන්නා.

මේ දිනවල චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට කාර්ය බහුල වෙලාද?

අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන ආරාධනා මත එයට සහාය ලබා දෙනවා. නමුත් මම හිතන්නේ මේ චිත්‍රපටයට අමුතුවෙන් සහයක් අවශ්‍ය නැහැ කියලා. දැනටමත් ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි.

නමුත් ඔබ Zoom චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට දායක වුණේ නැහැ කියලා එහි අධ්‍යක්ෂවරයාගෙන් චෝදනාවක් තිබුණා නේද?

මම මේතාක් මගේ රංගන දායකත්වය ලබාදුන් සෑම චිත්‍රපටයකටම එහි ප්‍රචාරක කටයුතුවලට සහය දුන්නේ මිල මුදල් බලාගෙන ‍නෙවෙයි. චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන හිතලා. ඒකේ අධ්‍යක්ෂකවරයා කවුද කියලවත් ඒ වෙලාවට මං හිතන්නෙ නෑ. නිර්මාණය ගැන හිතලා තමා මම වැඩ කළේ. නමුත් Zoom චිත්‍රපටියේ ප්‍රචාරනය සඳහා මගේ දායකත්වය නොලැබෙන්න හේතුව බුද්ධිමත් ප්‍රේක්ෂකයන් දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. අනික එයට සහය නොදෙන්න මම සාධාරණ හේතු තියෙන්න ඇති.

සම්මානනීය නළුවෙකු විදියට සිනමාවේ අනාගතය ගැන ඔබ මොකද හිතන්නේ?

සුබ වුණොත් හොඳයි කියලා හිතනවා.

සිංහල සිනමාවේ ඊළඟ ප්‍රේමවන්තයා ඔබ කියලා සහ ඔබ සිනමාවේ නව යුගයක ඇරඹුම කියලා ඇතමුන් කියනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

මම එහෙම හිතන එක ගැන බොහොම නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම ඒ අයගේ අදහසට ගරු කරනවා.

පිළිගන්නවා වගේම ඒ වචනයටත් මම සලකනවා. නමුත් මගේ හිතේ යුග පිහිටවන්නවත් ආදරවන්තයා වෙන්නවත් අදහසක් නැහැ. අපේ රටේ සිනමා කර්මාන්තය වෙනුවෙන් දෙයක් කරන්නයි මට ඕන. රස විඳින්න පුළුවන් සිනමාව කොටස්කරුවෙක් වෙන්නයි මට අවශ්‍ය වන්නේ.

ප්‍රේක්ෂකයා තමන් කැමැති පරිදි වර්ගිකරණය කරන්න පුළුවන් ඒ ගැන මට ගැටලුවක් නැහැ.

වර්තමානයේ රංගනශිල්පින් ජනප්‍රියවීමට නොකරන දෙයක් නැහැ. ඔබත් එහෙමද?

ඒක ප්‍රේක්ෂකයා දන්නවා මම මොනවද කරන්නේ කියලා. මට එහෙම එක එක දේවල් පසුපස යන්න අවශ්‍ය නැහැ.

ඒ කියන්නේ ඔබ ජනප්‍රිය වෙන්න හදන්නේ රංගනය තුළින්ම පමණයි ?

මම මගේ නිර්මාණවලට උපරිමයෙන් මගේ රංගන දායකත්වය ලබා දෙනවා . මට ඕන ප්‍රේක්ෂකයාට උපරිම රසවින්දනයක් ලබා දෙන්නයි. එතැනින් එහාට කිසිම දෙයක් මම ජනප්‍රියත්වය උදෙසා කරන්නේ නැහැ. මට ඕන ජනප්‍රිය වෙන්න ‍නෙවෙයි සාර්ථක වෙන්න. සාර්ථක වුණොත් ජනප්‍රියත්වයත් ලැබෙයි.

ටෙලිනාට්‍ය රංගනය සඳහා ආරාධනා ලැබෙන්නේ නැද්ද?

මම ප්‍රමුඛත්වය ලබා දෙන්නේ සිනමාවට

විවාහයක් ගැන හිතන්නත් දැන් වයස හරි නේද?

වයස හරි වුණාට අනිත් දේවල් තවම හරි නැහැ. ජීවිතේ ගන්න වැදගත්ම තීරණයකදී වයස විතරක් හරි ගිහින් මදි අනිත් දේවලුත් හරි යන්න ඕනා.

ඉදිරි වැඩකටයුතු මොනවාද ?

සුපුරුදු රංගන කටයුතු කරගෙන යනවා. හොඳ නිර්මාණයන් කරන්න බලා‍පොරොත්තුවක් තියෙනවා. ඉදිරි වැඩකටයුතු ඉදිරියේදී තියනවා.

සංවාදය - අකිලා නදීශානි බණ්ඩාර (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'යුග පිහිටවන්නවත් ආදරවන්තයා වෙන්නවත් අදහසක් නැහැ'"

    Post a Comment