04 May, 2017

දැරිය බිලිගත් බුලන්නටුව වැවේ තවත් කිඹුලන් 17ක් ඉන්නවා

crocodiles-bulannatuva-lake

ඉකුත් 27 වැනිදා ඉතාමත් අවාසනාවන්ත අයුරින් කුඩා දැරියක් කිඹුල් ප්‍රහාරයකට ලක්ව මිය ගිය බුලන්නටුව වැවේ තවත් කිඹුලන් 17ක් පමණ සිටින බව ප්‍රදේශවාසීහු කියා සිටිති.

ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංක 469 ලෝලුගස්වැව ග්‍රාම නිලධාරි වසමට අයත් බුලන්නටුව වැවට බැසීමට ප්‍රදේශවාසීහු දැඩි බියකින් පසුවෙති.

අප කළ සොයා බැලීමකදී ගම්වාසීන් සඳහන් කර සිටියේ විවිධ ප්‍රමාණයේ කිඹුලන් 17ත් දෙනකු පමණ තවදුරටත් මෙම වැවේ සිටින බවත් දැරිය බිලිගත් කිඹුලාගේ ප්‍රමාණයේ කිඹුලෙක්ද මෙම වැවෙහි සිටින බවත්ය.

එම කිඹුලාද අඩි 12ක් පමණ දිග බව ඔවුහු පවසති. ඉකුත් 27 වැනිදා කිඹුලා විසින් දැරිය බිලිගැනීමත් සමඟ මෙම වැවෙහි කිඹුල් උමඟක් බවට සැක කෙරෙන ස්ථානයක්ද ගම්වාසීන් එක්ව හෑරූ අතර එහි කිඹුල් පැටවුන් 4ක්ද සිටිනු දක්නට ලැබිණි. 

ලෝලුගස්වැව හා ඒ ආසන්නයේ ගම්මාන රැසක ජනතාව මෙම වැවෙන් ජල අවශ්‍යතා පිරිමසා ගන්නා අතර මේ වන විට වැවට පැමිණෙන ජනතාව බෙහෙවින් අඩු වී ඇති බවත් ඔවුන් බියෙන් සිටින බවත් ගම්වාසීහු සඳහන් කළහ. 

මේ කිඹුලන් ගොඩබිමට ඇවිත් සුනඛයන් දඩයම් කිරීමට පුරුදුව ඇති බවත් මීට පෙර අවස්ථාවක එසේ සුනඛයන් දෙදෙනකු හා කුඩා වසු පැටවුන් දෙදෙනකු දඩයම් කර ඇති බවත් ගම්වාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මීගලෑව වනජීවී කාර්යාලයේ වන අඩවි ආරක්ෂක නිලධාරි රත්නායක මහතා කියා සිටියේ මේ වැවේ තවත් විශාල කිඹුලන් 10ක් 15ක් වගේ සංඛ්‍යාවක් ඉන්නවා. 

නමුත් උන් එම වැවෙන් ඉවත් කරනවාද නැද්ද යන්න තවමත් තීරණය කරලා නෑ. 

සිකුරාදා (5දා) ගම්වාසීන් හා එක්වී කමිටු රැස්වීමක් තියලා මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දැරිය බිලිගත් බුලන්නටුව වැවේ තවත් කිඹුලන් 17ක් ඉන්නවා "

    Post a Comment