15 May, 2017

ලෝකයේ ලොකුම තාරකා ඉබ්බා ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

biggest stars tortoise


ලෝයේ ලොකුම ඉබ්බා යැයි කියූ සැනින් බොහෝ දෙනෙකුගේ සිහියට නැගෙනුයේ ගලපගෝස් දිවයින්වලට ආවේණික වූ සුවිශාල ගලපගෝස් ඉබ්බාය.

ලෝකයේ ලොකුම ඉබ්බාගේ අයිතිය ගලපගෝස් දිවයින්වලට හිමි වුවද ලොව ලොකුම තාරකා ඉබ්බා ශ්‍රී ලංකාවේ ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ පදිංචිකරුවෙකි. දශක හය හතක් ලොවෙන් සැඟව සිටි මේ තාරකා ඉබි දැවැන්තයා පසුගිය 6 වැනිදා වනජීවී නියාමක රංග විජේරත්නගේ උකුසු ඇස යොමු වන්නේය. තම වන ජීවී නියාමන දිවියේ රංග මෙතරම් ලොකු තාරකා ඉබ්බෙකු දැක නැත. එහෙයින් රංග තම ඉහළ නිලධාරීන්ට මේ බව දන්වා සිටියේය. 

ශ්‍රී ලංකාවේ වාර්තා වන ඉබ්බන් විශේෂ ගණන තුනකි. ඒ අතින් ගල් ඉබ්බා හා කිරි ඉබ්බා උභය ජීවීන්ය. ඔවුහු ගොඩබිම මෙන්ම ජලයේද දිවි ගෙවති. එහෙත් තාරකා ඉබ්බා ගොඩබිම් සතෙකු වන අතර ඉතා අලංකාර පිට කටුවකින් යුක්තය. කහ කළු වර්ණ රටාවෙන් යුතු තාරකා ලකුණු විසිර ඇති කටුව නිසා තාරකා ඉබ්බා ලෙසින් මෙම විශේෂය හඳුන්වයි. 

ලුණුගම්වෙහෙරින් සොයාගත් යෝධ තාරකා ඉබ්බාගේ බර කි. 14කට ආසන්නය. යටි කබ‍ලේ දිග 45 cm පමණ වෙයි. ඉබි කටුවේ උස 42 cmට ආසන්නය. මෙම සත්වයා පිරිමි සතෙකු වන අතර මෙම වර්ගයේ ගැහැනු සතුන් දිගින් වැඩි බව වාර්තා වේ. තාරකා ඉබ්බන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවලින් වාර්තා වන අතර දැනට වාර්තා වී ඇති විශාලතම සජීවී නිදර්ශකය මෙම ඉබ්බා බව වනජීවී පශු වෛද්‍ය විජිත පෙරේරා මාධ්‍යයට පවසා ඇත. 

තාරකා ඉබ්බන් මෙරට වෙරළාසන්න ශුෂ්ක කලාපීය ලක්ෂණ සහිත ප්‍රදේශවල මෙන්ම හලාවත, මීගමුව වැනි ප්‍රදේශවලද වාර්තා වෙයි. බොහෝ කෘෂි කාර්මික ප්‍රදේශවල තාරකා ඉබ්බා වගාවට විපත් ගෙනදෙන සතෙකු ලෙස සලකා මරා දැමීම සිදු වෙයි. විශේෂයෙන් වට්ටක්කා, කොමඩු වැනි වගාවන්ට හානි කරනා නිසා ගොවියන් මෙම සත්වයන් මරා දැමීමට පෙළඹී ඇත. ඉතා අලංකාර උරග විශේෂයක් වන තාරකා ඉබ්බා නීති විරෝධීව අපනයනය කරනු ලබන සතෙකි. 

ලුණුගම්වෙහෙරින් හොයාගත් මෙම යෝධ ඉබ්බා සිටින ඉසව්ව වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ නැත. ඒ එම සතාගේ නිදහසට සහ ආරක්ෂාවට ඉන් බාධා ඇතිවිය හැකි බැවින් අවශ්‍ය මිනුම් ආදිය ලබා ගැනීමෙන් පසු මෙම ඉබි දැවැන්තයා හමු වූ පියසටම මුදා හරින බව දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති. ශ්‍රී ලංකාවේ මේ අසමසම ෙජෙව විවිධත්වය ලොව ඕනෑම රටක් හා තරග කරන්නට සමත්ය. අවුරුදු 60ක් පමණ වයස වෙතැයි අනුමාණ කරන මේ තාරකා ඉබ්බා වැනි හඳුනා නොගත් ෙජෙව සම්පත් රාශියක් සිරිලක වන උයන්වල සැඟව තිබිය හැකි බවත් ඒවා නිසි විලස සුරැකීම සැමගේ වගකීම විය යුතු බවත් වනජීවී පශුවෛද්‍ය විජිත පෙරේරා අවධාරණය කරන්නේය.

තරූෂ ප්‍රනාන්දු (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝකයේ ලොකුම තාරකා ඉබ්බා ශ්‍රී ලංකාවෙන් හමුවෙයි"

    Post a Comment