27 May, 2017

අමිලා කැමැති පිරිමි - මහින්ද මහත්තයත් ලිස්ට් එකේ

Amila Nadeeshani-2017.05.26

01.ලලිත් ප්‍රනාන්දු - මගේ බොස්

මේ ලෝකේ බොහොම හොඳයි කියන වර්ගයේ මිනිස්සු මට හමුවෙලා තියෙන්නේ අතළොස්සයි. හොඳයි කියන මිනිස්සු ඕනි තරම් ඉන්නවා. ඒත් බොහොම හොඳ අය හරිම අඩුයි. ලලිත් ප්‍රනාන්දු කියන්නේ ඒ බොහොම හොඳයි කියන අතළොස්සට අයත් වෙන කෙනෙක්.

02.එච්.ආර්. ජෝතිපාල

අදටත් එතුමාගේ ගීත අහනකොට එදා වගේම රස විඳින්න පුළුවන්. ඒ ගීතවල ඊයේ, අද, හෙට කියල වෙනසක් නැහැ. ඒ ගීත සරලයි. නමුත් ආසාවෙන් රසවිඳින්න පුළුවන්. ඔහු එදා මෙදා තුර ලංකාවේ බිහිවුණු විශිෂ්ට ගායකයෙක්. ඒ නිසා මම ඔහුට කැමැතියි.

03.මගේ තාත්තා

මට මුලින්ම මුණගැසුණු පිරිමියා ඔහු. සරල ජීවිතයක් ගෙවපු මගේ තාත්තා මට වීරයෙක්. ඔහු අද ජීවතුන් අතර නැහැ. තාත්තගේ හීනයක් තිබුණා මං ගැන දැකපු. ඒ හීනය තමයි මම අද සැබෑ කරගෙන තියෙන්නේ. ඔහු ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්. ලොකු ආදරයක්.

04.සොමී රත්නායක

ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. සොමී රත්නායක මහත්මයාගේ රංගන ශෛලියට මම ගොඩක් කැමැතියි. ඒ වගේම ගතිගුණ අතින් ගත්තොත් ඔහු ගොඩක් නිවිච්ච පුද්ගලයෙක්. ඔහු ඉතා සරල මනුස්සයෙක්. ඒ නිසා මම ඔහුට කැමැතියි.

05.කරුණාරත්න අබේසේකර

අබේසේකර මහත්තයා ජනප්‍රිය වගේම ප්‍රවීණ ගීත රචකයෙක්. ඒ ගීත හරිම නිර්මාණශීලීයි. සදාකල් පවතින ගීත ගොන්නක් ඔහු නිර්මාණය කළා. ඒ වගේම ඔහු දක්ෂ කවියෙක්. ගුවන් විදුලි නිවේදකයෙක්. හැකියාවන්වලින් පිරිපුන් ඔහුටත් මම කැමැතියි.

06.පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

උන්වහන්සේ අදත් හිටියා නම් කියලා මට හිතෙන වාර අප්‍රමාණයි. උන්වහන්සේ දේශනා කළ බොහොමයක් දේවල් අද වෙනකොට සත්‍ය බවට පත්වෙලා තියෙනවා. අද උන්වහන්සේ නැතත් උන්වහන්සේට මගේ හිතේ තියෙන ගෞරවය හැමදාමත් තියේවි.

07.එල්ටන් ජෝන්

මම ඔහුට කැමැති වෙන්න හේතුව තමයි ඔහුගේ ගීත. ඒ ගීතවලට මම ගොඩාක් කැමැතියි. මම ඔහුගේ හොඳ රසිකාවියක්.

08.මහින්ද රාජපක්ෂ

මම දේශපාලනයට නම් කැමැතිම නැහැ. නමුත් පුද්ගලයකු වශයෙන් මම මහින්ද මහත්තයට කැමැතියි. අපේ රටේ කුරිරු යුද්ධය අවසන් කරන්න නායකත්වය ගත්තේ ඔහු. ඒ හැරුණම දේශපාලන මට්ටමින්වත්, පෞද්ගලික මට්ටමින්වත් තිබෙන කැමැත්තක් නෙවෙයි ඒක. රටක් ජාතියක් විදියට ගත්තම යුද්ධයේ නිදහස අපි හැමෝටම ලබා දෙන්න ඔහු මුල් වුණා. ඒ නිසා මම ඔහුට කැමැතියි.

රංජන තන්ත්‍රිගේ (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අමිලා කැමැති පිරිමි - මහින්ද මහත්තයත් ලිස්ට් එකේ"

    Post a Comment