27 May, 2017

කෑන්ස් සිනමා උළෙලට ගිය රත්නම් ගේ ‘Demons In Paradise‘ (Video)

Demons In Paradise-00

ලෝකයේ අන්තර්ජාතික සම්භාව්‍ය සිනමා උළෙල සේ ගැණෙන ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙල මේ දිනවල පැවැත්වෙන අතර එහි වාර්තා සිනමා අංශයේ තරඟකාරී නොවන විශේෂ සිනමා දැක්මක් ලෙස ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික තරුණ සිනමා කරුවෙකුගේ වාර්තා චිත්‍රපටයක් ඊයේ (24) තිරගත කෙරිණ.

ඒ ජූඩ් රත්නම් නමැති නවක සිනමා කරුවාගේ Demons in Paradise හෙවත් ‘පාරාදීසයේ යක්ෂයෝ‘ නමැති සිනමා පටයයි.

මෙය ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරා ඇදුනු වාර්ගික යුද්දය පදනම් කර ගත් සත්‍ය තොරතුරු වලින් සමන්විත වාර්තා චිත්‍රපටයකි. සිනමා කරුවා වසර 10 ක් පුරා මෙම වාර්තා චිත්‍රපටය නිමවා තිබේ.

ජූඩ් රත්නම් වනාහී 1983 දී වයස අවුරුදු 6 ක දරුවෙක් ලෙස කළු ජූලියේ බිහිසුනු අත්දැකීම් වලට මුහුණ දුන් අයෙකි. එවකට පුංචි බොරැල්ලේ ජීවත් වූ ජූඩ් දරුවා ගේ නිවස ජාතිවාදීන් විසින් ගිනි ලා විනාශ කළ අතර ජූඩ් ඇතුළු පවුලේ පිරිස ජීවිතය බේරා ගෙන දුම්රියෙන් යාපනය බලා ගිය පවුලකි. ඔහුගේ පියා ඇන්ග්ලිකන් පූජකවරයෙකි. ඔහුට අපූරු මාමා කෙනෙකු විය. ඔහු ද 83 කළු ජූලියෙන් දිවි බේරා ගත් අයෙකි. එවකට මහනුවර සිටි මාමා ගේ ජීවිතය බේරා දුන්නේ සිංහල පවුලකි. මාමාද යාපනයට පලා ගිය අතර පසුව ඉන්දියාවට පලා ගොස් සන්නද්ධ පුහුණුව ලැබීය.

සිංහල හමුදාව යාපනයේ ගෙන ගිය දරුණු මර්දනකාරීත්වයට එරෙහිව සටන් කිරීමට යාපනයට පැමිණි මාමා දුටුවේ හමුදාවේ කුරිරුකම් සේම දෙමළ කැරළිකරුවන්ගේද කුරිරු කමයි. ඔහු සටන් කිරීම අතහැර යළි කොළඹට පැමිණ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරයි. දෙමළ බසද සිංහල බසද ඉංග්‍රීසි බසද මනා සේ හැසිරවිය හැකි හේ අන් කිසිවෙක් නොව කවුරුත් දන්නා ‘මනෝරංජන්‘ මාධ්‍යවේදියා ය.

අවාසනාවකට ඔහු ලංකාව අතහැර කැනඩාවේ පදිංචියට ගියේ ය. ජූඩ් රත්නම් තම වාර්තා සිනමාවට තමා සහ තමාගේ වීරයෙකු වූ මාමාගේ අත්දැකීම් ඇසුරුකර ගනිමින් මෙම Demons in Paradise හෙවත් ‘පාරාදීසයේ යක්ෂයෝ‘ වාර්තා සිනමා පටය නිමවා තිබේ.

මෙම වාර්තා චිත්‍රපටය බොහෝ දෙමළ වාර්තා චිත්‍රපට වලින් වෙනස් ය. දෙමළ ජනතාවට තිබූ සැබෑ ප්‍රශ්න මත ඇරඹුනු සාධාරණ අරගලයක් වූ දෙමළ අරගලය අවසානයේ තමන්ගේම ජනතාව මරා දමන ම්ලේච්ඡ ෆැසිස්ට් යුද්ධයක් වූයේ කෙසේදැයි අධ්‍යක්ෂකවරයා ප්‍රශ්න කරයි. අවසාන යුද්දයේදී දෙමළ අරගලය පරාජය වනවා නම් හොඳ යැයි තමන් ප්‍රාර්ථනා කළ බවත් ඒ අනුව තමන් දෙමළ ජනතාවගේ ජනප්‍රිය අර්ථයෙන් ‘ද්‍රෝහියෙකු‘ වීම පැතූ බවත් ඔහු පවසයි.

Demons in Paradise හි පූර්ව ප්‍රචාරක පටය පහත දිගුවෙන් නැරඹිය හැකිය.


මෙම සිනමා පටයේදී 83 කළු ජූලියේ ප්‍රකට සේයාරුවක් වූ බොරැල්ල හන්දියේ දී දෙමළ ජාතිකයෙකු නිර්වස්ත්‍ර කර මරා දැමෙන සේයාරුව ගත් ඡායාරූප ශිල්පියාගේ අත්දැකීම් ද ඇත. සිනමා පටයේ එක් තැනෙක ජූඩ්ගේ මාමා වූ මාධ්‍යවේදී මනෝරංජන් වසර 35 කට පසු 1983 කළු ජූලියේ දී තමන්ව බේරා ගත් මහනුවර සිංහල පවුල හමුවීමට එන අවස්ථාවක් තිබේ. සත්‍ය රූප රාමු සහිත එම අවස්ථාව ඇත්තටම සංවේදී ය. පහත දැක්වෙන්නේ Demons in Paradise හි එම රූප රාමු කිහිපයයි. 


(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කෑන්ස් සිනමා උළෙලට ගිය රත්නම් ගේ ‘Demons In Paradise‘ (Video)"

    Post a Comment