27 March, 2017

සියදිවි නසා ගැනීමෙන් ලොව දෙවැනි තැන සිටි ලංකාව දැන් 22



වසරකට ලක්‍ෂයක් සියදිවි නසාගෙන ලෝකයේ දෙවැනි තැනට පත්වී තිබූ ශ්‍රී ලංකාව මේ වන විට සියදිවි නසා ගැනීම්වලින් වන මරණ සංඛ්‍යාව තුන්දහස දක්වා අඩුවී ලෝකයේ සියදිවි නසා ගැනීම් අතින් 22 වැනි ස්ථානයට පත්වී ඇතැයිද මෙසේ මිය යන්නන් අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණියන් යැයිද කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රමණී රත්නවීර මහත්මිය (24දා) ගාල්ලේදී පැවැසුවාය.

වාර්තාකරණයේදී මනෝ විද්‍යාව මාධ්‍යවේදීන්ට බලපාන ආකාරය පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති වැඩමුළුවක් අමතමින් වෛද්‍යවරිය මේ බව පැවැසුවාය.

රත්නවීර මහත්මිය මෙසේද කීවාය. ලෝකයේ සෑම තප්පර හතළිහකට එක් අයෙක් සිය දිවිනසා ගන්නවා. එය ලක්‍ෂ අටක් පමණ වෙනවා. දුම්වැටිවල නිකොටින් ඇතුළු ශරීරයට අහිතකර විස සංඝකට 4,000ක් පමණ තිබෙනවා. ඒ අතර වකුගඩු, පෙණහලු, අක්මාව, අග්න්‍යාශය යනාදී ශරීර අවයවවලට බලපාන පිළිකා කාරක 11ක් තිබෙනවා. දුම්වැටියක් බොන පුද්ගලයකු ළඟට විනාඩි 45ක් යනතුරු ළංවීම අනතුරුදායකයි. අක්‍රිය දුම්පානය මඟින් සෙසු පුද්ගලයන්ටද ආබාධ ඇතිවීම ඊට හේතුවයි.

පුද්ගලයකු දිනකට පාවිච්චි කළ යුත්තේ සීනි හැඳි හයක් පමණයි. අපි පානය කරන පැණිබීම බෝතලයක සීනි හැඳි 15ක් පමණ තිබෙනවා. පැණිබීම අධික ලෙස පානය කිරීම නිසා දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇති වන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට පැණි බීම දීමේදී මවුපියන් සැලකිලිමත් විය යුතුයි.

සමාජ වෙබ් අඩවි සහ අන්තර්ජාලය අද සමාජ උවදුරක් බවට පත්වෙලා. පාසල් දරුවන් පැය හයක් මේවා පරිහරණය කළහොත් බුද්ධිය අඩු වෙනවා. ලේ ගමන අඩු වෙනවා. විසාදය හා ආතතිය ඇති වෙනවා. දරුවන්, මවුපියන් පාලනය කරනවා. දැන් මේ තත්ත්වය රෝගී තත්ත්වයක් බවට පත්වෙලා. ඇමෙරිකාව, ජපානය, කොරියාව වැනි රටවල අධික ලෙස අන්තර්ජාලයට සහ වෙබ් සමාජ අඩවිවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඉගෙන ගන්නා දරුවන්ට ළඟාවිය නොහැකි ඉලක්ක ලබාදීම හොඳ නැහැ. මවුපියන් දරුවන්ගෛන් අභිමානය බලාපොරොත්තු වීම හොඳ නැහැ. ගුරුවරුන්ගෙන් සහ මවුපියන්ගෙන් දරුවන් ඉගෙන ගන්නේ 60%ක් පමණයි. ඉතිරි 40% ළමයා විසින් ඉගෙන ගත යුතුයි. ගුරුවරයා ළමයින්ට දෙවැනි මව විය යුතු වුවත්, දැන් එහෙම වෙන්නේ නැහැ. ළමයින්ගේ දක්‍ෂතා හඳුනාගෙන ළමයින් ඉදිරියට ගෙන ඒම ගුරුවරුන්ගේ වගකීම විය යුතු බවද වෛද්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල්, පෝද්දල - යූ.එම්. තිලකරත්න,
රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි-මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සියදිවි නසා ගැනීමෙන් ලොව දෙවැනි තැන සිටි ලංකාව දැන් 22 "

    Post a Comment