22 May, 2017

වකුගඩුවක් ඉල්ලා සවුදි අරාබියේ සිරකරගෙන සිටින තිදරු මවකගේ කඳුලු කතාව (Video-Photos)

WW Indrakanthi Kidney

"එයාලා මගෙන් වකුගඩුව ඉල්ලනවා.එයාලා කියන්නේ රියාල් 50000ක් දෙන්නම් මට ඒකට කැමති වෙන්න කියලා"

"අඩන්න එපා අම්මේ.අපි අම්මව කොහොමහරි ගෙන්න ගන්නම්"

සිය වකුගඩුවක් ලබාදෙන ලෙස බලකරමින් සවුදි අරාබියේ නිවසක තමන් සිරකර ගෙන සිටින බව එරට ගෟහ සේවය සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් අනාවරණය කරනවා.

ඇය පවසන්නේ ඇයට හිමි මාස 3ක වැටුපද මෙතෙක් ලබාදී නොමැති බවයි.

දඹුල්ල - කන්ඩලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ඩබ්ලිව්.ඩබ්ලිව්. ඉන්ද්‍රකාන්ති මහත්මිය සවුදි අරාබියේ ගෘහ සේවය සදහා විදෙස් ගත වන්නේ මීට වසර දෙකහමාරකට පමණ පෙරයි.

ඒ, දියණියන් තිදෙනෙකුගේ මවක් වු ඇයට සැමියාද නොමැතිව දරුවන් හදා වඩා ගැනීමට ඇති ආර්ථික දුෂ්කරතා හේතුවෙන්.

කෙසේවෙතත්, ඇය නැවත මෙරටට පැමිණීමට සුදානම් වුවද සේවය කල නිවසේ පුද්ගලයින් එයට ඉඩනොදී විවිධ බලපෑම් කරන බව , දුරකතනය ඔස්සේ අප හා සම්බන්ධ වු ඉන්ද්‍රකාන්ති මහත්මිය පැවසුවා.

"මට මෙයාලා එන්න දෙන්නේ නැහැ.මගේ කාලසීමාව ඉවරයි.මාස 3ක පඩි දෙන්න තියෙනවා.එයාලා මගෙන් වකුගඩුව ඉල්ලනවා.එයාලා කියන්නේ රියාල් 50000ක් දෙන්නම් මට ඒකට කැමති වෙන්න කියලා මට ඒක කරන්න බැහැ.මට කියනවා හොඳට කල්පනා කරලා තීරණයක් අරන් කියන්නලු.එයාලා මට දැන් කියනවා එයාලට වකුගඩුව දීලා එයාලා මට මෙහෙන් මනුස්සයෙක් කතා කරලා දෙන්නම්ලු මට කසාද බැඳලා මෙහෙටම වෙලා ඉන්නලු. මං කිව්වා මට ලංකාවේ ළමයි ඉන්නවා මට ලංකාවට යන්න ඕනේ කියලා.මගේ දරුවෝ ගොඩක් අසරණ වෙලා මේ ගොල්ලන්ගේ පඩි නැතුව.මගේ දරුවෝ තුන් දෙනා දුක් විඳිනවා මට බලන් ඉන්න බැහැ.

මං කැමති නැහැ ඔයාලව නොදැක ඉන්න.මට ඕන කලේ ඔයාලව සතුටින් තියන්න.

"අඩන්න එපා අම්මේ.අපි අම්මව කොහොමහරි ගෙන්න ගන්නම්".

මෙම ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඇගේ නිවසේ දැඩි ආර්ථික ගැටලු රැසක් මතුව තිබෙනවා.

ඉන්ද්‍රකාන්ති මහත්මියගේ ඥාතීන් පවසන්නේ මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුම් දුන් බවයි.

"මම ඒ සැරේ විදේශ සේවා එකට ගියා.ගිහින් ඒ අයට කිව්වා.එයාලා කිව්වා වකුගඩුව ගැන පැමිණිලි කරන්න එපා.එයාට එහෙන් කරදර වෙයි.ඒ නැතුව පැමිණිල්ල දාන්න කියලා කාලසීමාව ඉවරයි ගෙනල්ල දෙන්න කියලා.

අපේ නැති බැරි කමට රට යන එක ඇත්ත.ඒත් ඉතින් මේ වගේ අසරණකම් වලින් බේරගන්න කියලා තමයි කියන්නේ". 



(harigossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වකුගඩුවක් ඉල්ලා සවුදි අරාබියේ සිරකරගෙන සිටින තිදරු මවකගේ කඳුලු කතාව (Video-Photos)"

    Post a Comment