30 May, 2017

'බත්කූරෝ' දසුන්ව වෙනස් කරලා

Dasun madushan-2017-05-30_22-34-40

• බත්කූරෙක් අල්ලගෙන දසුන් මේ කරන අලුත් සෙල්ලම මොකක්ද?

'බත්කූරෝ' කියන්නේ මගේ අලුත්ම සිංදුව. මේ ගීතයේ මෙලඩි එක ලහිරු පෙරේරාගේ. සංගීතවත් කළේ ලහිරු පෙරේරා සහ විරේෂ් කුරේ. පද රචනය කළේ මනුරංග අයියා. මියුසික් වීඩියෝව කළේ හසිත ජයශංක. මේක අලුත් ගීතයක් වුණාට මට මේක අලුත් නෑ. මොකද මේ ගීතය එළියට ගේන්න අවුරුදු දෙකහමාරක් විතර කල් ගියා.

• 'බත්කූරෝ' එළියට ගේන්න එච්චර කල් ගත්තේ?

මට මේ සිංදුව හොඳට කරන්න ඕන වුණා. ළහිරු අයියලා කරන ගීත කනට මිහිරියි. ඉතිං මටත් ඕන වුණා මියුසික් කොලිටිය තියෙන ගීතයක් කරන්න. ළහිරු අයියලා කාර්යබහුලයිනේ. ඉතිං වැඩේට එයාලව අල්ල ගන්න කල් ගියා. කොහොමත් හොඳ වැඩක් කරන්න කල් යනවනේ. මම ළහිරු අයියට තමයි මුලින්ම කිව්වේ මට වෙනස් වැඩක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා 'බත්කූරෝ' සිංදුව කළේ.

• දසුන් ගීතයක් රසිකයන් අතරට ගේන්නෙත් කාලෙකට පස්සේ නේද?

ඔව්. අවුරුදු එකහමාරකට පස්සේ තමයි මම ගීතයක් රිලීස් කළේ.

• ගීතයක් කරන්න කල් ගන්නේ වෙනදට වඩා හොඳ වෙනසක් කරන්නම ඕනේ නිසාද?

මම ගීත කරලා තියෙනවා. ඒ ගීත හොඳ නැහැ කියලා මම කියන්නේ නැහැ. හැබැයි අපි ඉස්සරහට යන්න යන්න අලුත් වෙන එක හොඳයි. දැන් තියෙන තරගයත් එක්ක රැල්ලට ගහගෙන යන්නේ නැතුව හොඳ දෙයක් කරන්න ඕන කියන තැන මම ඉන්නවා.

• හැබැයි දසුනුත් රැල්ලට ගිය කාලයක් තිබුණා නේද?

මෙහෙමයි. මම ආවේ රියැලිටි තරගයකින්. ඉතිං මටත් ඒ ඒ කාලෙට ගීත කරන්න වුණා. නමුත් දැන් මම ඒ තත්ත්වයෙම ඉඳලා හරියන්නේ නෑ. දසුන් කියන ගායකයා මෙහෙමයි කියලා කියන්න පුළුවන් අනන්‍යතාවක් හදාගන්න තමයි දැන් මම මහන්සි වෙන්නේ. ඒ වෙනුවෙන් හොඳ වෙනසක් කරන්න ඕන.

• දැන් ඔය බලාපොරොත්තු වුණු වෙනස 'බත්කූරෝ' ගීතයෙන් කරගන්න පුළුවන් වුණාද?

ඔව්. මේ නිර්මාණයට මම ගොඩක් කැමැතියි. Audio එක වගේම Video එකත් හොඳටම කෙරුණා. මට ඕන වුණේ ස්ටේජ් එකේ දුවලා පැනලා කියන්න පුළුවන් ගීතයක් කරන්න. ඒ වගේම සමාජයට පණිවුඩයක් දෙන ගමන් ඒ වෙනස කරන්න මම උත්සාහ කළා.

• වෙනසට ලැබෙන ප්‍රතිචාර එහෙම ජයද?

ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. වෙනස් ගීතයක් කරලා කියලා ගොඩක් අය මට සුබ පතනවා. දසුන් මදුෂාන් කියන කෙනා වෙනස් වෙන්න ඕන. ටැලන්ට් එක පෙන්වන්න ඕන.

• දසුන් දැන් ප්‍රමිතිය ගැන බලලද වැඩ කරන්නේ?

ඔව්. ක්ෂේත්‍රයට ආපු කාලේ මම හැම දෙයක්ම කළා. හැබැයි ලොකු වෙද්දී ලෝකෙ කැරකෙන වෙනසට අපි කැරකෙන්න ඕන. ඒකයි හොඳ වැඩ බලාගෙන කරන්නේ.

• ලංකාවේ විවේචන එල්ලවෙන ගායකයෝ අතරට දැන් දසුනුත් එකතු වෙලාද?

මටත් විවේචන එනවා. මමත් බැනුම් අහන ගායකයෙක්. අපි යම්කිසි තැනකට එනවට ගොඩක් අය කැමැති නැහැ. වැඩිපුර හොඳත් හොඳ නැහැ. වැඩිපුර නරකත් හොඳ නැහැ. හැමදේම බැලන්ස් කරගෙන ජීවත් වෙන එක ඇඟට ගුණයි.

• කොහොමින් කොහොම හරි දසුන්ට පසුගිය කාලේ එල්ල වුණ අසත්‍ය චෝදනාවේ පබ්ලිසිටියත් අරගෙන ගීතයක් එළියට දාගත්තා නේද?

අනිවාර්යයෙන්ම, ඒ ලැබිච්ච පබ්ලිසිටියත් හොඳයි කියලා හිතුණා ගීතයක් එළියට දාන්න. ඒකෙන් නොහිතුව පබ්ලිසිටි එකක් ලැබුණා. ඕන කෙනෙක්ට ඕන දෙයක් අපි ගැන කියන්න පුළුවන්. නමුත් බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ දන්නවා අපි කවුද කියලා.

• ඒ කියන්නේ ඒ ප්‍රචාරයෙන් දසුන්ට අහිතක් වුණේ නෑ කියන එකද?

මෙහෙමයි. ඒ ප්‍රචාරයෙන් මාව ළිඳකට වැටුණා. හැබැයි ළිඳකට වැටිලා ඒ ළිඳේම ඉඳලා තේරුමක් නෑ. ඒකෙන් ගොඩ එන්න තමයි මේ හදන්නේ. මාව ඔය ප්‍රචාරවලින් ලේසියෙන් වට්ටන්න බෑ. මට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. මම වෑයම් කරන්නේ රජවෙන්න නෙවෙයි. හොඳ වැඩක් කරන්න.

• දසුන්ට මුල් කාලේ වගේම අලුත් වැඩ, රසිකයන් අතරට ගෙනියන්න මාධ්‍ය සහයෝගය ලැබෙනවද?

මට හොඳ නිර්මාණයක් කියලා චැනල්වලට අරගෙන යන්න දෙයක් තිබ්බේ නැහැ. නමුත් මගේ අලුත් ගීතය හොඳ වැඩක්. තාම නම් චැනල්වලට ගීතය අරගෙන ගියේ නැහැ. මම හිතනවා මගේ මේ හොඳ වෑයමට මාධ්‍ය සහයෝගය ලැබෙයි කියලා.

• අත ගහපු වෙනස ඉදිරියටත් කරයිද?

අනිවාර්යයෙන්ම. මගේ ඊළඟ ගීතයේ මීටත් වඩා ලොකු වෙනසක් තියෙයි. තව ටික දවසක් යයි ගීතය රසිකයන් අතරට එන්න. එතකල් 'බත්කූරෝ' ගීතයේ වෙනස විඳින්න කියලා මගේ රසිකයන්ගෙන් ඉල්ලනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)
ඡායාරූපය - අශාන් ගමගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'බත්කූරෝ' දසුන්ව වෙනස් කරලා"

    Post a Comment