09 May, 2017

අනියම් සම්බන්ධතාවලින් හදාගන්නා දරුවන් ධන කුවේරයන්ට විකුණන ජාවාරමක් හෙළිවෙයි

Baby trafficking

ස්වාමිපුරුෂයා මියගිය හා අනියම් සම්බඳතා හේතුවෙන් ගැබ් ගන්නා දිළිඳු කාන්තාවන් හඳුනාගෙන ඔවුන් හොර රහසේ පෞද්ගලික රෝහල් වලට ඇතුළත් කර දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසු දරුවන් මැද පෙරදිග ධන කුවේරයන්ට ඉහළ මිළ ගණන් වලට අළෙවි කරන බව කියන ජාවාරමක තොරතුරු අනාවරණය කරගත් මහනුවර මූලස්ථාන පොලීසිය ඒ සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් තිදෙනෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර කාන්තවන් තිදෙනා අතර මීට දින පහකට පෙර දරුවෙකු ප්‍රසූත කළ මවක් හා එම දරුවා අළෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

මහනුවර නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී දරුවා ප්‍රසූත කර තිබෙන 39 හැවිරිදි කාන්තාවට දරුවන් තිදෙනෙකු සිටින අතර ඇගේ වැඩිමහල් දියණිය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකින් පසු ඇය ප්‍රසූත කළ දරුවා ගාල්ල ගිංතොට ප්‍රදේශයේ නිවසක රහසේ සඟවා සිටියදී පොලීසිය සොයාගෙන තිබේ.

දරු ප්‍රසුතියට ආසන්න ගැබිනියකව සිටි තම මව රෝහල් ගත වීමෙන් පසු දරුවකු නිවසට රැගෙන නොපැමිණීම හේතුවෙන් සැකසිති ඇගේ දියණිය ඒ බව පොලීසියට පවසා තිබේ.

පෞද්ගලික රෝහලකදී දරුවා ප්‍රසූත කර අළෙවි කළ බව කියන මව මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර සෙසු සැකකාරියන් දෙදෙනා මහනුවර මහයියාවේ හා ගාල්ලේ පදිංචිකරුවෝ වෙති.

බොහෝ කලක සිට මෙසේ ළමයින් විදේශ රටවල ධන කුවේරයන්ට අළෙවි කිරීමේ නිරත ජාවාරම්කාර කාන්තාවන් දෙදෙනා අදාල මව පෞද්ගලික රෝහලට ඇතුළු කර දරුවා බිහිකළ පසු රෝහල් බිල්පත් ගාස්තු සියල්ල ගෙවා ව්‍යාජ උප්පැන්න සහතිකයක්ද සකස්කර දරුවා ගාල්ලට රැගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී ඇත.

මහනුවර පොලිස් මුලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි නාරංපනාව මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක අයේෂා බණ්ඩාර මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාවාරමට අදාල සැකකාර කාන්තාවන් තිදෙනා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා හමුවට ඊයේ (08) ඉදිරිපත් කළ අවස්ථාවේ දරුවාගේ මව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතද ජාවාරමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනා රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප තුනක් මතද මහේස්ත්‍රාත්වරයා විසින් මුදාහරිනු ලැබීය.

සැකකාරියන්ට යළි මැයි මස 29 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දින පහක් වයසැති බිලිඳා මහනුවර ටිකිරි ළමා නිවාසයට භාරදී පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට යොමුකරන ලෙසද දැනුම් දුන්නේය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනියම් සම්බන්ධතාවලින් හදාගන්නා දරුවන් ධන කුවේරයන්ට විකුණන ජාවාරමක් හෙළිවෙයි"

    Post a Comment