08 April, 2017

අසභ්‍ය වචන කියලා බැන්නා - සමහර දේවල් මට මාධ්‍යක පළ කරන්න බැහැ

Yashoda Wimaladharma

යශෝධා විමලධර්ම නම් අපේ කාලයේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියට ශාස්ත්‍ර ගෞරව ප්‍රණම උපහාරයක් පුදන්නට කැලණිය විශ්වවිද්‍යාලය පියවර ගත්තා. ඒ සම්මානය දිනූ දවසේ ඇය කතා කළේ ජීවිතයේ අමිහිරිම අත්දැකීමක් වුණු “නවකවදය“ ගැන. මේ ඒ පිළිබඳ ඇය පුවත්පතකට හෙළිකළ තොරතුරුයි.

ඔබ ලද ගෞරව ඇගැයීමෙන් අපි කතාබහ ආරම්භ කරමු..?

මම ළපටි වියේදීම රංගනයට ආවේ මීට අවුරුදු 31 කට කලින්. මම පළමු උපාධිය ලැබුවෙ කැලණිය විශ්ව විද්‍යාලයෙන්. රංගනවේදිනියක් හැටියට මම කළ මෙහෙවර විශ්ව විද්‍යාලයට කීර්තියක් සේ සලකා ඔවුන් මට සම්මානයක් දුන්නා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් හැම වසරකම විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයින් තුන් දෙනෙක් තෝරලා එහෙම ඇගැයීමක් කරනවා. මේ අවුරුද්දෙ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් සහ මාව ඒ විදිහට අගය කෙරුණා.

ඒත් යශෝධාට විශ්වවිද්‍යාල ජීවිතය ගැන තියෙන්නෙ අමිහිරිම මතකයක් කියන්නෙ ඇත්තද..?

ඒක ඇත්ත. නවකවදය නිසා මට ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ගැන තියෙන්නෙ කලකිරීමක්.

කැමති නැද්ද ඒ අමිහිරි සිදුවීම ආපහු මතක් කරන්න..?

අකමැත්තක් නැහැ. දැන් මේ වෙනකොට මම ඒ කම්පනයෙන් මිදිලයි ඉන්නෙ. මම විශ්වවිද්‍යාලයට තේරුණේ 1989 අවුරුද්දෙ. නවකවදය ගැන අහලා තිබුණු නිසා කොහොමත් මම මුදලදිම විශ්විද්‍යාලයට යන්න කැමති වුණේ නැහැ. ඒ කාලයේ මගේ තාත්තා රවිලාල් විමලධර්ම කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ උගන්වන කථිකාචාර්යවරයෙක්. මම විශ්වවිද්‍යාලයට යනවා දකින්න තාත්තා ආස කළා.
තාත්තාගේ ආසාව වෙනුවෙන් යශෝධා විශ්ව විද්‍යාලයට ගියා..?

ඔව්. මුලදි මම කිව්වෙ බාහිරව ලියාපදිංචි වෙලා ඉගෙන ගන්නම් කියලයි. ඒත් මම විශ්වවිද්‍යාලය ඇතුළට ඇවිත් නාට්‍යය, කලාව, සාහිත්‍යය වැඩසටහන්වලට සහභාගී වෙලා ජීවිතය විඳිනවා දකින්න තාත්තාට ඕන වුණා. ඒ නිසා මම තාත්තාගේ ඕනෑකමට විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙක් හැටියට ලියාපදිංචි වුණා.

ඒ වෙද්දි යශෝධා නිළියක් හැටියට ජනප්‍රියයිද..?

ඔව්. මට නවකවදය දෙන්න ආපු අය මම රඟපෑව නිර්මාණ බලලා තිබුණා. රටේම මිනිස්සු මට ආදරය කළත්, අපේ ජ්‍යෙෂ්ඨ ළමයින් තුල මගේ ගැන තිබුණේ වෛරයක්. මම හුඟක් ධනවත් කෙනෙක් කියලා එයාලා හිතුවා. මං වගේ කෙනෙක් ඇයි තව කෙනෙකුට නොමිලේ ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් ලබාගන්නෙ කියලයි ඒ අය ඇහුවෙ. ඒක මහ මෝඩ තර්කයක්.

යශෝධාට වධ හිංසා කරද්දි බේරගන්න තාත්තා ආවේ නැද්ද..?

නැහැ. තාත්තා හරිම කරුණාවන්ත කෙනෙක්. කොහොමත් ළමයි එහෙම ප්‍රචණ්ඩ විදිහට හැසිරෙනකොට ගුරුවරුන්ට මෙල්ල වෙන්නෙ නැහැ. ඒ අය මට අසභ්‍ය වචන කියලා බැන්නා. හිංසා කළා, කරපු කියපු සමහර දේවල් මට මාධ්‍යක පළ කරන්න බැහැ. හරි අශෝභනයි. තාත්තාගේ කීම අහලා විශ්වවිද්‍යාලට ගියපු මම එහෙම දුක් විඳින හැටි තාත්තාට බලාගෙන ඉන්න බැරිවුණා.

එතුමා රෝගී වුණා..?

ඔව්. තාත්තා ඒ කලකිරීම නිසාම ස්නායු රෝගයකට ගොදුරු වුණා. මතකය නැතුව ගියා. ඒ නිසා ඉක්මනින්නම විශ්‍රාම ගියා. මට නවකවදය දෙන එක මුල් මාස කිහිපයෙන් ඉවර වුණේ නැහැ. මම දේශනවලට හිටපු හැම දවසකම ඒ අය මාව අල්ලගෙන නවකවදය දුන්නා. මේ අතරෙදි තාත්තාගේ කල්පනාව සම්පූර්ණයෙන්ම නැතිව ගිහිල්ලා අපිවවත් අඳුරගන්න බැරුව අසාධ්‍ය වුණා.

ඉගෙනීම නතර කරන්න හිතුණෙ නැද්ද..?

නැහැ. මම උපාධිය සම්පූර්ණ කළේ තාත්තා සිහි විකල්වෙලා ඉද්දි. මට හිංදි භාෂාව ඉගෙන ගන්න කෙනෙක් නැතුව ගියා. ඉන්දියාවේ ඉන්න තාත්තාගෙ යාලුවෙක් වන මහාචාර්යවරයෙකුගෙ උදව් අරගෙන මම ඉගෙනීම් වැඩ හොඳට කළා. ඊළඟට ශාස්ත්‍රපති උපාධියට ඉගෙන ගන්න ඉන්දියාවටම ගියා. ඒ රටේ මේ වගේ අමානුෂික අය හිටියෙ නැහැ.

ගිය සතියේ සම්මානය ගන්නකොට මේ සිදුවීම් පෙළ එක දිගට මතක් වෙන්න ඇති නේද..?

කොහොමත් විශ්වවිද්‍යාලය කියපු ගමන් මට මතක් වෙන්නෙ දක්ෂ කථිකාචාර්යවරයෙකු වුණු මගේ තාත්තා. ඒ වගේම අර තිත්ත මතකය. තාත්තාටත් නවකවදයෙන් බැටකාපු හැමෝටමත් උපහාරයක් වෙන්න සම්මානය ගත්තා.

‘‘නවකවදය“ කියන්නෙ තවම නතර කරගන්න බැරිවුණු ප්‍රශ්නයක්..?

ඔව්. හැමදාම ඔය ප්‍රශ්න අලුත් වෙනවා. මම නම් කියන්නෙ නවකවදයට සම්බන්ධ වන ළමයින්ට තදින්ම නීති ක්‍රියාත්මක කරන්න ඕන.

නිළියක් විදිහට නිතර පේන්න නැත්තෙ ඇයි..?

අවරගනයේ නිර්මාණවල රඟපාන්න අකැමති නිසා තෝරාගත් නිර්මාණවලට විතරයි මම දායක වෙන්නෙ.

ලස්සන පෙනුම නිසා සමාජයේ කරදර වැඩියි නේද..?

මම ඉන්න කලා ක්ෂේත්‍රය හරි විෂම තැනක්. හරිම ලේසියෙන් ඉක්මනින් ගැහැණුන් වරදේ බඳවා ගන්න බලාඉන්න පිරිමි මට නිතරම හමුවනවා. ඒත් ගැහැණියෙකුට හිතේ හයිය තියෙන්න ඕන. අවබෝධයක් ඇතුව ඉන්න නිසා මම හොඳින් ඉන්නවා.

විවාහය ගැන බලාපොරොත්තුවක් අතඇරලද..?

විවාහය කියන්නෙ ජීවිතයේ කොටසක් විතරයි. අදටත් මට ගැළපෙන සහකාරයෙක් මුණගැහිලා නෑ. කවදා හරි මම විවාහ වේවිද..? නැද්ද කියන්න මමවත් දන්නෙ නැහැ. ජීවිතය කියන්නෙ කල් ඇතුවම සැලසුම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අසභ්‍ය වචන කියලා බැන්නා - සමහර දේවල් මට මාධ්‍යක පළ කරන්න බැහැ"

    Post a Comment