05 April, 2017

මහනුවර නගරයට උමං මාර්ගයක්

Tunnel Road

දළදා මාලිගාව අවට පූජා භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ හා මහනුවර නගරයේ මාර්ග තදබදය වැළැක්වීම සඳහා මහනුවර නගරය යටින් දිවෙන උමං මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ඊයේ (4) ලද බව සභානායක සහ මහාමාර්ග, උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මහනුවර දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය කිසිසේත් විවෘත නොකරන බව පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළ ඇමැතිවරයා තැන්නේ කුඹුරේ සිට අම්පිටිය දක්වාත්, බෝගම්බර සිට ගැටඹේ දක්වාත් උමං මාර්ගයක් ඉදිකරන බවද සඳහන් කළේය.

ස්ථාවර නියෝග 23/2 යටතේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා එසේ කීවේය.

දිනේෂ් ගුණවර්ධන මහතා - දළදා මාලිගාව සහ එය පිහිටි පූජා භූමිය මහා සංඝරත්නය පරම්පරාවෙන් පරම්පරාවට රැකදුන්නා. රජවරුන් දිවිහිමියෙන් රැක දුන්නා. සෑම රජයක්ම දළදා මාලිගාව සහ පූජා භූමිය රැක ගැනීමට බැඳී ඉන්නවා. නමුත් දැනට පූජා භූමිය බල ප්‍රදේශයේ වාහන ගමන් කිරීමේ මාර්ගය විවෘත කිරීමට උත්සාහ කරන බව අගමැතිතුමා දන්නවද මේ පාර විවෘත කිරීම සම්බන්ධව මහනායක හිමිවරු හා මහා සංඝරත්නය, දියවඩන නිලමේතුමා හා බෞද්ධ සංවිධාන විසින් නවතා දමන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කරන්නේ නැහැ. පසුගිය ආණ්ඩුව මේ පාර වැහුණේ විකල්පයක් ලබාදෙන්නේ නැතුවයි. අවුරුදු විස්සක් මේ අය රට පාලනය කළා. පාර වහලා අද කියනවා තදබදයක් තියෙනවා කියලා. අපි උමං මාර්ගයක් හදනවා. පූජා භූමියේ මායිම් සකස් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. මේ අය කළේ පූජා භූමිය වටේ සුරා සල් විවෘත කරලා කාර් රේස් පැද්ද එකයි. අද බොරුවට කිඹුල් කදුළු හෙළනවා. (සභාවේ ඝෝෂා)

කථානායක - පාර විවෘත කරන්නේ නැහැ කිව්වානේ.
සභානායක - අවුරුදු විස්සක් රට පාලනය කරලා අද තබදයක් ගැන අපෙන් අහනවා.

ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහනුවර නගරයට උමං මාර්ගයක්"

    Post a Comment