10 April, 2017

මහ රෑ ටැංකි බැස්ස ජාතික රෝහලේ වෛද්‍ය පෙම් යුවල

Couple at Water tank National Hospital

කොළඹ ජාතික රෝහලේ අඩි 200 ක්‌ පමණ උසැති ජල ටැංකියට නැගීමට තැත් කළ එම රෝහලේ වෛද්‍ය පෙම් යුවළක්‌ පෙරේදා (08 වැනිදා) රාත්‍රි 10.50 ට පමණ අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

අවුරුදු 33 ක්‌ වයසැති වෛද්‍යවරයා නුගේගොඩ පදිංචිකරුවකු බවත් 29 හැවිරිදි වෛද්‍යවරිය නුවර ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් පොලිසිය පවසයි.

මෙම ජල ටැංකිය තාප්පයකින් වටකර ඇති බවත්, ඊට අමතරව පෞද්ගලික ආරක්‌ෂක නිලධාරියකු යොදවා සිටින බවත්, මෙම වෛද්‍ය පෙම් යුවළ ජල ටැංකියට නැගීමට උත්සාහ දරන අවස්‌ථාවේ ආරක්‌ෂක නිලධාරියා රාත්‍රි ආහාර ගනිමින් සිට ඇති බවත් හෙළිවිණැයි පොලිසිය පවසයි.

ජල ටැංකියට යැමට ඇති ඉණිමග දිගේ ඉහළට ගමන් කරන දෙදෙනකු දැක ඇති ආරක්‌ෂක නිලධාරියා ආහාර ගැනීම නවතා වහාම ඒ ගැන ඒ ආසන්නයේ පොලිස්‌ මුරපොළේ නිලධාරීන්ට දැනුම් දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් එම ස්‌ථානයට පැමිණ ජල ටැංකියට යැමට ඇති ඉණිමගේ සිටි වෛද්‍ය පෙම් යුවළ බස්‌සවාගෙන ඇත.

අනතුරුව මරදාන පොලිස්‌ ස්‌ථානය වෙත රැගෙන ආ වෛද්‍ය යුවළගෙන් ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇත්තේ තමන් ආසාවට ජල ටැංකියට නැගීමට ගිය බවයි. තමන් දෙදෙනා නුදුරු දිනකදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන් පවසා ඇත.

කෙසේ වෙතත් මෙම වෛද්‍ය පෙම් යුවළ දිවි නසා ගැනීම සඳහා ජල ටැංකියට නැගීමට උත්සාහ ගත්තේද? එසේ නොමැතිනම් මෙම යුවළ ජල ටැංකියට වස දැමීම සඳහා නැග්ගේද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

මෙම වෛද්‍ය යුවළ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර ඔවුන්ගේ රුධිර සාම්පල් සහ මුත්‍රා සාම්පල් ලබා ගත් බවද පොලිසිය කියයි.

අනතුරුව ඔවුන් පොලිස්‌ ඇප මත මුදා හැර තිබේ.

මේ පිළිබඳව මරදාන පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සරත් පෙරේරා මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක සමරසිංහ ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහ රෑ ටැංකි බැස්ස ජාතික රෝහලේ වෛද්‍ය පෙම් යුවල"

    Post a Comment