24 March, 2017

දඹුලු සටන ජයගන්නට නම්

Upul Tharanga- Mashrafe Mortaza

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරග 03 කින් යුත් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය හෙට (25දා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතය. එක්දින තරගාවලියේ පළමු හා දෙවැනි තරග දඹුල්ලේදී පැවැත්වීම හේතුවෙන් 'දඹුලු සටන' ජයගැනීම ශ්‍රී ලංකාවට කුසලාන බලාපොරොත්තු කෙරෙහි අතිශය වැදගත්ය.

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සමව අවසන්වීමත් එක්දින තරගාවලියට පෙර පැවැති පුහුණු තරගයෙන් බංග්ලාදේශය ලකුණු 354 ක ඉලක්කය හඹායමින් ලකුණු 02 ක තියුණු පරාජයක් ලැබීමත් හේතුවෙන් එක්දින සටන ඔවුන් ලෙහෙසියෙන් අතහැරීමට සූදානම් නොමැති බවක් පෙනෙන්නට තිබේ. මේ වනවිට කණ්ඩායම් ද්විත්වයම පන්දුවට පහරදීමෙන් හා පන්දු යැවීමෙන් සංසන්දනය කළොත් සමාන මට්ටමක පවතින අතර, ශ්‍රී ලංකා නිත්‍ය නායකයා වන ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගාවලියට සහභාගි නොවීම ශ්‍රී ලංකාවට බලවත් පාඩුවකි.

කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකාව මෙහෙයවනු ලබන උපුල් තරංග පසුගිය තරගාවලි කිහිපයම සාර්ථකව මෙහෙයවා තිබීම හේතුවෙන් මවුබිමේදී නායකත්වය සපයමින් තරගාවලියක් ජයගැනීමේ අභියෝගයට මුහුණදීමට ඔහුට සිදුව තිබේ. එහෙත් කණ්ඩායම් ද්විත්වය පන්දු යැවීමෙන් හා පිතිකරණයෙන් සමාන මට්ටමක පසුවුවද ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම නම් තවමත් යහපත් මට්ටමක නොපැවතීම ශ්‍රී ලංකාවට බරපතළ පාඩුවකි.

ශ්‍රී ලංකා දුර්වල පන්දු රැකීම ටෙස්ට්, එක්දින හා විස්සයි 20 යන අංශ කිහිපයේම පැවතීම හේතුවෙන් ලබාගැනීමට තිබූ කුසලාන අහිමි වී ගිය අයුරු පසුගිය තරගාවලි නිරීක්ෂණයේදී පැහැදිලි වෙයි. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ 'කැචස් වින් මැචස්' සංකල්පය එක්දින තරගාවලියේදී තීරණාත්මක වේ යැයි පැවසීමට කැමැත්තෙමු. එනම් තරග ජයග්‍රහණයට උඩපන්දු රැකගැනීම අත්‍යවශ්‍ය බව පමණක් මතක් කර දෙන්නෙමු.

එමෙන්ම පෙරේදා (22දා) පැවැති පෙරහුරු තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පිතිකරණයේ නියැළුණු අයුරු විමසා බැලුවහොත් ඔවුන් ලබාදෙන ඕනෑම ඉලක්කයක් හඹායෑමට හැකි කණ්ඩායමක් බව තහවුරු කළේය. ඒ නිසා තවත් පැත්තකින් දඹුල්ලේදී කාසියේ වාසිය දිනා ගැනීමද තරගයේ ජයග්‍රහණයට තීරණාත්මක සාධකයක් වන්නේය. ඒ මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීම හේතුවෙනි.
ශ්‍රී ලංකා සංචිතයට කලකට පසුව තිසර පෙරේරා හා කුසල් ජනිත් ඇතුළත් කර තිබුණද පෙරහුරු තරගයේදී කළවා ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කුසල්ට පළමු තරග ද්විත්වය අහිමිව තිබේ.

පිටිය තුළ විනය විරෝධීව හැසිරීම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ලටද පළමු එක්දින තරගය අහිමිව තිබේ. එම නිසා පෙරහුරු තරගයේදී විශිෂ්ට ඉනිමක් දියත් කළ සඳුන් වීරක්කොඩි ආරම්භක පිතිකරුවා ලෙස හෝ මැදපෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කිරීමට වැඩි අවස්ථාවක් පවතී. ශ්‍රී ලංකාව පිතිකරුවන් 07 ක් (තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙකු සමග) හා පන්දු යවන්නන් 04 ක් සමග මෙම තරගයේදී ක්‍රීඩා කළ යුතුය. එහිදී ස්ථිර දඟපන්දු යවන්නන් දෙදෙනෙකු හා වේගපන්දු යවන්නන් දෙදෙනෙකු සමග ක්‍රීඩා කරන්නේ නම් එය ශ්‍රී ලංකාවට හිතකර වනු ඇත.

බංග්ලාදේශ කණ්ඩායමද අවතක්සේරු හෝ අධිතක්සේරු කළ යුතු කණ්ඩායමක් නොවේ. බංග්ලාදේශයට ඇති ගැටලුව වනුයේ ඔවුන්ගේ ක්‍රීඩකයන් සියල්ල එකවර දක්ෂතා නොදැක්වීමයි. එහෙත් පුහුණු තරගයේදී ඔවුන් සියලු දෙනා දක්ෂතා දැක්වීම හේතුවෙන් තත්ත්වය වඩාත් භයානක වීමටද හැකිය. මුෂ්ෆිකර් රහීම්, ශකීබ් අල් හසන්, සෞම්‍ය සර්කාර්, සබීර් රෙහ්මාන්, මොසඩක් හුසේන්, තමීම් ඉක්බාල්, මහ්මුදුල්ලා වැනි දක්ෂතා පිරිපුන් පිතිකරුවන්ද මුස්ටාෆිසූර් රහ්මාන්, රුබල් හුසේන්, සුබාශිස් රෝයි, ටස්කින් අහමඩ් වැනි පන්දු යවන්නන්ද බංග්ලාදේශය සතු හෙයින් දිනයේ අඩුවෙන්ම වැරදි කරන කණ්ඩායමට ජයග්‍රහණය හිමිවනු ඇත. ඒ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුර්වලතාව වන පන්දු රැකීමේ හැකියාව වර්ධනය කරගතහොත් ජයග්‍රහණය බලාපොරොත්තු ශ්‍රී ලංකාවට තබාගත හැකිය.

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස චන්දික හතුරුසිංහ මහතා කටයුතු කරන හෙයින් මෙය බංග්ලාදේශ - ශ්‍රී ලංකා තරගයකට වඩා ශ්‍රී ලංකා - ශ්‍රී ලංකා තරගයක් ලෙසද පෙන්වාදිය හැකිය. හේතුව හතුරු ටෙස්ට් තරගාවලියේදී තමාට කළ හැකිදේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වුවමනාවටත් වඩා පෙන්නුම් කර ඇති හෙයිනි. හතුරු මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය සවිමත් කළ පුහුණුකරුවා වන අතර, ඔහු ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දක්ෂතා හා දුර්වලතා හොඳින්ම දන්නා පුද්ගලයෙකි. ඒ නිසා එක්දින තරගාවලිය ජයගැනීමට අවශ්‍ය නම් සාම්ප්‍රදායික සැලසුම්වලින් ඔබ්බට ගොස් රැඩිකල් සැලසුම්, තීන්දු තීරණ ගැනීමට ශ්‍රී ලංකාවට පසුබට නොවිය යුතුය.

හෙට (25දා) තරගය සවස 2.30ට ආරම්භ වේ.

Upul Tharanga- Mashrafe Mortaza - ODI

( පැතුම් ශ්‍රී විජේරත්න-අද ) 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දඹුලු සටන ජයගන්නට නම්"

    Post a Comment