08 September, 2016

එකම නාළිකාවක හොඳම ටයිම් බෙල්ට් රවීන්ද්‍රට ලැබෙන්නේ ඩීල් එකකින්ද?

අලුත් නිර්මාණ දෙකක්ම මේ දවස්වල ප්‍රේක්‍ෂකයෝ අතරට ගෙනත්. මුලින්ම ඒ ගැන කතා කරමු?

ඔව්. ජෝඩු ගෙදර කියන්නේ හාසේ‍යා්ත්පාදක නාට්‍යයක්. එය රාත්‍රි 7.30ට ස්වර්ණවාහිනියෙන් විකාශය වෙනවා. අනන්තා කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, පිල්ලි ආදිය ගැන කතා කරන ගැමි පසුබිම මුල්කරගත් කතාවක්. එය රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාළිකාවෙන්ම විකාශය වෙනවා.

ජෝඩු ගෙදර වගේ හාසේ‍යා්ත්පාදක නාට්‍යයක් කරන්න හිතුවේ හාසේ‍යා්ත්පාදක නාට්‍ය රැල්ලේ එල්ලෙන්නද?

නැහැ. මම මේ නාට්‍යයට සම්බන්ධ කරගෙන තියෙන්නේ ලංකාවේ කාර්යබහුලම වේදිකා රංගන ශිල්පීන් පිරිසක්. ඒ වගේම වැඩිම මුදලක් අය කරන පිරිසක්. එහෙම රැල්ලට කරන්න ඕනේ නම් අපේ හිතවත්තු, අපේ රංගන පුහුණු පාඨමාලාව කරපු අය දාලා කුණු කොල්ලෙට, ලාභෙට මේ නාට්‍ය කරන්න තිබ්බා. මේක රැල්ල පරයමින් වෙනත් තැනකට යන්න කරන උත්සාහයක්.

දැන් බිහිවෙන හාස‍ේ‍යා්ත්පාදක නාට්‍ය හරසුන් බොළඳ නිර්මාණ කියලා චෝදනාවක් තියෙනවා. ජෝඩු ගෙදරට ඔය චෝදනා අදාළ වෙන එකක් නැද්ද?

ජෝඩු ගෙදර ජෝඩු හයක් වටා ගෙතෙන කතාවක්. දැන් බිහිවෙන ඇතැම් හාසේ‍යාත්පාදක නාට්‍ය සරලයි බොළදයි. දෙබිඩි කැපෙන වචන කියලා අධිරංගනයක යෙදෙමින් හිනස්සන්න උත්සාහ කරන දෙයක් ඒ තුළ තියෙන්නේ. ජෝඩු ගෙදර කියන්නේ බොළද හරසුන් නාට්‍යයක් නෙවෙයි. යම් ප්‍රශ්න ටිකක් හාස්‍යයෙන් ඉදිරිපත් කිරීම කෙරෙන්නේ.

හාසේ‍යා්ත්පාදක නාට්‍යවල නිතර දකින චරිතවලට වඩා වෙනස් පිරිසක් නාට්‍යයට සම්බන්ධ කරගත්තේ?

ප්‍රහසන රංගනයේ යෙදෙන්න පුළුවන් එක පිරිසකට විතරයි කියලා ගොඩක් අය හිතන්නේ. ඒත් දක්‍ෂ රංගන ශිල්පීන්ට ලැබෙන ඕන චරිතයක් කරන්න පුළුවන්. ඒකයි අපි ගිහාන්, ජයනි, ධර්මප්‍රිය, දමිතා, චමිලා, සරත්, තිරිමාදුර, හසිනිකා, ජගත්, සුජානි, විජේරත්න, මාලනි වීරමුනි කියන දක්‍ෂ සම්මානනීය පිරිසක් මේ නාට්‍යයට දායක කර ගත්තේ.

අනන්තා ටෙලි නාට්‍ය ප්‍රේම දඩයම ටෙලි නාට්‍යයේ කොපියක් වෙලා මෙගා නාට්‍ය සත්ත්වකරණය කරන ආරම්භයක් වෙලා කියලා සමහරු කියනවා නේද?

අපිත් දැක්කා ඔය විදිහේ විවේචනාත්මක චෝදනා නඟලා තියෙනවා. තරංග අනන්තා ටෙලි නාට්‍යයේ පිටපත සකස් කරලා අවුරුදු හයක් වෙනවා. ටෙලි නාට්‍ය රූගත කිරීම් ආරම්භ කළේ මීට අවුරුද්දකටවත් කලින්. එතකොට ඉන්දියාවේ ශිවන්‍යා අහලවත් දැකලවත් තිබ්බේ නෑ.

නාගයකුත් සම්බන්ධ කරගෙන අනන්තා වගේ වෙනස් නාට්‍යයක් කරන්න හිතුවේ?

මම අධ්‍යක්‍ෂණය කරපු නාට්‍ය පවුල් පසුබිම් වුණ කතා තිබෙන නාට්‍ය, පවුල් පසුබිම් කරගෙන වෙනස් නාට්‍යයක් කරන්න ඕන නිසා යන්ත්‍ර මන්ත්‍ර ආදිය එකතුවුණ නාට්‍යයක් කරන්න හිතුවා. යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් දන්න විශේෂඥ පිරිසක් එක්ක සාකච්ඡා කරලා තමයි මේ වගේ නාට්‍යයක් කළේ.

නාගයෙක් සම්බන්ධ කරගෙන නාට්‍යයක් කරන එක ලේසි නෑ නේද?

ඔව්. ඉන්දියාවේ නාගයා වගේ අපේ නාට්‍යයේ නාගයා 2ච් නාගයෙක් නෙවෙයි. තඹුත්තේගම රත්නසිරි කියලා පුද්ගලයෙක්ගේ නාගයෙක් නාට්‍යට ගත්තේ. නාගයටම ලොකු වියදමක් අපි දරනවා. නාගයා නිසා සමහර වෙලාවට දවසට සීන් එකයි දෙකයි ගන්න වෙන්නේ.

මෙගා නාට්‍ය තිබ්බා ගැහුවා නාට්‍ය කිව්වට අනන්තා වෙනුවෙන් නම් ලොකු මහන්සියක් වෙනවා වගේ?

මම කවදාවත් මගේ නාට්‍ය තිබ්බා ගැහුවා නාට්‍ය විදියට කරලා නෑ. නළු නිළියෝ ඒකට සාක්‍ෂි. රංගන ශිල්පි ශිල්පිනියන් තරංගගෙයි මගෙයි වැඩකට එන්නේ සන්තෝෂෙන්. තිබ්බා ගැහුවා නාට්‍ය පෝලිම්වල තියෙනවා. මගේ නාට්‍ය එහෙම පෝලිම්වල තියෙන්නේ නෑ. විනිශ්චය මණ්ඩලවල ඉහළ ලකුණු අරගෙන මගේ නාට්‍ය විකාශය වෙනවා.

එකම නාළිකාවේ හොඳම විකාශන කාල රවින්ද්‍රට ලැබෙන්නේ ඩීල්වලට නෙවෙයිද?

මම කිසිම ඩීල් එකකට යොමු වෙලත් නෑ. යොමු වෙන්නෙත් නෑ. හොඳම රංගන ශිල්පීන් යොදවලා ඩීල් ගහලා ටෙලි නාට්‍ය විකුණන්න ඕනේ නෑ. හොඳම විදියට නාට්‍ය කරලා ගිහින් දුන්නම ටෙලි නාට්‍ය ඒ ඒ වෙලාවට විකාශය වෙනවා මිසක් ඩීල්වලට නාට්‍ය විකාශය කරගන්නේ නෑ.

එකම අධ්‍යක්‍ෂවරයගේ නාට්‍ය දෙක තුන විකාශය වෙන්න ගත්තම අනෙක් අධ්‍යක්‍ෂවරුන්ට අවස්ථා නැති වෙනවා නේද?

මම ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු විසිපහක් වෙනවා. ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කරන එක මගේ රැකියාව. නිකන් හිටියට මට සල්ලි ලැබෙන්නේ නෑ. ඒ නිසා නාට්‍යයක් කරලා ඉවර වුණ ගමන් මම තව නාට්‍යයක් කරනවා. හොඳ වැඩක් කළොත් ඒක අලෙවි කරගන්න පුළුවන්.




තිළිණි කෞශල්‍යා විජේසිංහ - මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එකම නාළිකාවක හොඳම ටයිම් බෙල්ට් රවීන්ද්‍රට ලැබෙන්නේ ඩීල් එකකින්ද? "

    Post a Comment