08 September, 2016

‘ආහාර තෑගි භාණ්ඩ මෙන් කාන්තාවනුත් හෝම් ඩිලිවරි’ ලෙසින්



ගෙදරටම ගෙන ගොස් භාරදීම යන අරුත ගෙනෙන Home delivery යන වදන අප කාටත් හොඳින් හුරුපුරුදුය. විවිධ වෙළෙඳ ආයතන මගින් බොහෝ විට මෙසේ ගෙදරටම ගෙනවුත් භාර දෙනුයේ ආහාරපාන, තෑගි භාණ්ඩ, මල් කළඹ ආදියයි. 

එහෙත්, අප රටේ පිරිමින්ට ‘තාවකාලික අඹුකම’ සඳහා කාන්තාවන්; විශේෂයෙන් නව යොවුන් තරුණියන් ගෙදරටම ගෙනැවිත් භාර දෙන යාන්ත්‍රණයක් දැන් මේ රටේ අගනුවර සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වන බව ඇසුවහොත් ඔබට එය එක්වරම විශ්වාස කළ හැකිද ?

එහෙත් දැඩි විස්මයෙන් සහ දැඩි අකමැත්තෙන් යුතුව වුවත් ඔබ විසින් අසා දැන ගත යුතු පුවතක් ඔබ හමුවට ගෙන ඒමට අපට හැකියාව තිබේ.

‘හෝම් ඩිලිවරි’ යනුවෙන් ඔවුන් විසින්ම හඳුන්වා ගන්නා මෙම ජංගම ගණිකා සේවය මීට දශක කිහිපයකට පෙර ආරම්භ වූ බව සිතිය හැක. එහෙත් එය අද වන විට සැලකිය යුතු තරමකින් සංවිධානාත්මක ජාවාරමක් බවට පත්ව තිබේ. එහි ක්‍රියාවලිය සාමාන්‍ය වශයෙන් මෙලෙසිනි.

කිසියම් පුද්ගලයකුට සමාජමය වශයෙන් අපකීර්තියකට ලක් නොවී ගණිකාවක ඇසුරු කිරීමට අවශ්‍ය නම් ඒ බව කිසියම් පුද්ගලයකුට දැන්වීමෙන් ඒ තරුණිය හෝ කාන්තාව තම නිවසටම ගෙන්වා ගත හැකිය. ඒ සඳහා කිසිදු වෙහෙස මහන්සියක් දැරීමට හෝ අමතර මුදලක් ගෙවීමට ඒ තැනැත්තාට සිදු නොවේ. 

එම කාන්තාව පැමිණෙන සහ ඇය ආපසු යන කුලී රථය පවා එම පුද්ගලයා විසින් සපයනු ලබන්නකි. ඒ අනුව ඔහු කළ යුත්තේ තමන්ට එම කාන්තාව සමග ගත කිරීමට කාලය දන්වා ඔහු සතුව ඇති පැකේජයන්ගෙන් එකක් තෝරා ගැනීම පමණි.

මෙරට ගණිකා ව්‍යාපාරය සම්බන්ධ මෙම අලුත්ම ප්‍රවණතාව පිළිබඳව මූලික තොරතුරු අප හමුවේ අනාවරණය වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ එක් නගරයක සාප්පු සේවිකාවක වශයෙන් සේවය කරන තරුණියක විසිනි. 

ඇය සමග සේවය කරන තවත් තරුණියක් අමතර ආදායමක් ලැබිම පිණිස ඇතැම් රාත්‍රී යාමයන් හි මෙලෙස අර්ධකාලීන හෝම් ඩිලිවරි සේවයේ යෙදෙන බව ඇය කීවාය. 

එහිදී එක් රාත්‍රියක් වෙනුවෙන් ඇයට හාම්පුතා විසින් රුපියල් හාරදහසක පමණ මුදලක් ගෙවනු ලබන අතර තම ‘සේවය’ සඳහා අලුතින් ඇබෑර්තු ඇති බව ඇය තම යෙහෙළියන් සමග ද කියා ඇති බව කී එම සාප්පු සේවිකාව මේ වසංගතය දුරුකරවනු පිණිස ඒ පිළිබඳව පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරවීමේ වැදගත්කමද අප හමුවේ අනාවරණය කළාය. 

ඇය පැවැසූ තොරතුරු අනුව මතෛක් සමාජය හමුවේ නිසි පරිදි හෙළි නොවූ මෙම බරපතළ රහස ඔබ හමුවේ අනාවරණය කිරීමට අපට හැකියාව තිබේ.

‘හෝම් ඩිලිවරි’ නමින් හැඳින්වෙන මෙම නිවෙස්වලට ගණිකාවන් සැපයීමේ සේවාව මතුපිටින් මිනිස්බල සේවා සහ ගෘහස්ථ හෙද සේවා ආදර්ශයට ගෙන ඇති බව පෙනේ. 

එහෙත් එම සේවාවන් රජයේ ලියාපදිංචි ආයතන වන අතර ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ රජයේ අණපනත්වලට එකඟවය. නමුදු එම සේවා සඳහා පැමිණෙන ශ්‍රමිකයන්ට සාපේක්ෂව මෙලෙස හෝම් ඩිලිවරි සේවාව මගින් නිවෙස් වලට සැපයෙන ගණිකාවන්ගේ මුහුණු සහ හැඩරුව කල් ඇතිව බලා ගැනීමට ගනුදෙනුකරුවන්ට අවශ්‍යවෙයි. 

ඒ සඳහා ඔවුන් එම ගණිකාවන් දිවා කාලයේ සේවය කරන ස්ථාන වෙත යොමු කරවීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. එවැනි සේවා ස්ථානයක් නොමැති යුවතියන් සාර්ථකත්වයක් නොමැති ව්‍යාපාරවලට ඇතැම්විට (‍පොදු වෙළඳ සංකීර්ණවල ඉහළ මහල්වල ඇති) කැඳවා ගනුදෙනු කරුවන්ට ඔවුන් දැක බලා ගැනීමට අවකාශ ලබාදෙයි.

“ඒ උනාට අපිට එහෙම ප්‍රයිවට් එකේ කස්ටමර්ස්ලා කන්ටෑක් කර ගන්න කීයටවත් ඉඩ දෙන්නේ නැහැ” මෙහිදී ඉතා විශ්වාස කටයුතු අයුරකින් අප හා දුරකථනයෙන් සම්බන්ධ වූ එවන් යුවතියක කීවාය. 

“අනික අපේ බොස්ලා මේවා කරන්නේ පළාතේ ලොකු ලොකු දේශපාලනඥයොයි ‍පොලීසියේ ලොකු මහත්තුරුයි, පාතාලෙට සම්බන්ධ අයයි දැනුවත්ව; ඒ හින්දා අපි ප්‍රයිවට් එකේ කස්ටමස්ලා කන්ටෑක්ට් කර ගත්තොත් අපිත් ඉවරයි. කස්ටමරුත් ඉවරයි; මොකද අපේ කස්ටමර්ස්ලා සමාජයේ හුඟක් වැදගත් අය; ඔය කියන අය අතර මම ඉස්සරවෙලා කියපු කට්ටියත් ඉන්නවා” ඇය කීවාය.

මෙහිදී මෙම යුවතියන් පිරිස ගණිකාවන් ලෙස හැඳින්වුවද මේ බොහොමයක් වත්මන් සමාජ ආර්ථිකය හමුවේ විවිධ ආකාරවලින් අසරණ බවට පත් වූවෝ වෙති. ඇතැමකු විවිධ ආර්ථික අපහසුතා නිසා රැකියා සොයා ගමින් නගරයට සංක්‍රමණය වූවන්ය. 

එහෙත් නාගරික යුවතියක වශයෙන් සමාජය හමුවේ පෙනී සිටීමට අවශ්‍ය රූපලාංකරණ ආදී කටයුතු සඳහා මුදල් සෙවීමට ඔවුන් මෙම අර්ධකාලීන රැකියාවෙහි යෙදෙන බව අපට අනුමාන කළ හැකි විය. එමෙන්ම මෙලෙස ‘හෝම් ඩිලිවරි’ සඳහා යොදා ගැනෙන තරුණියන් බොහෝ දෙනෙකු රූපලාංකරණ සහ නවීන විලාසිතා කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන බවද අපට අවධාරණය කළ හැකිවිණි.

“මේ වගේ ගමනකින් පස්සේ අපිට රුපියල් හාරදහක් විතර ලැබුණට අපේ බොස්ලා ඒ වගේ තුන් ගුණයක් විතර කස්ටමර්ලගෙන් අය කරනවා. අපි ඒ වගේ ගමනක් යද්දී අපේ ෆෝන් සිම් ගලවලා වාහනේ ඩ්‍රයිවර්ට දීලා; එයා දෙන සිම් එකක් දාගන්න ඕනේ; ආයිත් අපිට අපේ සිම් එක ලැබෙන්නේ පහුවෙනිදා උදේ තමයි. ඒ කස්ටමර්ලගෙයි බොස්ලගෙයි ආරක්ෂාවට. මෙහිදී අප හා අදහස් දැක්වූ තවත් යුවතියක කීවාය.

මෙහිදී අපට වැඩිදුරටත් තහවුරු වූයේ කලින් මෙම ජාවාරම හා පසුගිය රජයේ ප්‍රාදේශීය දේශපාලන බලවතුන්ව සිට වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ වූවන් එදා සේම අදද මෙම ජාවාරම එපරිද්දෙන්ම සිදු කරන බවය.

සාමාන්‍යයෙන් එක් රාත්‍රියක් සඳහා යුවතියක තම නිවෙසට හෝ වෙනයම් ආරක්ෂිත ස්ථානයකට ගෙන ඒම සඳහා මෙම ජාවාරම්කරුවෝ එක් ගනුදෙනු කරුවකුගෙන් රුපියල් දහ දහසකටත් පහළොස් දහසකටත් අතර මුදලක් අය කරති. 

එමෙන්ම එම මුදල ඉහත සඳහන් කළ පාර්ශ්වයන් කිහිපයක් අතරේ බෙදී යන බවද සාධාරණ ලෙස අනුමාන කළ හැක. ඒ අතර මෙම ජාවාරම්කරුවන් විසින් දේශපාලනඥයන්ට ඔහුගේ සගයන්ට ඇතැම් ‍පොලිස් නිලධාරීන් සහ පාතාල මැරයන්ට ‘සන්තෝෂම් වශයෙන්’ ඉඳහිට නොමිලයේ මෙම ‘හෝම් ඩිලිවරි’ සේවය සපයන බවද දැන ගන්නට ඇත. 

 කෙසේ හෝ සමාජය විසින් සුරැකිය යුතු උතුම්ම වස්තුව හෙවත් භාණ්ඩය ලෙස සැලකෙන ස්ත්‍රිය ආහාරපාන රසකැවිලි ආදිය මෙන් හෝම් ඩිලිවරි මට්ටමට පත්වීම තුළ මාතෘත්වය මුල්කොට ගත් කාන්තාවගේ වටිනාකමට අනාගතයේ කුමකින් කුමක්වේදැයි අපට නම් සිතා ගන්නටවත් බැරිය.

දමයන්ති ගමගේ - ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘ආහාර තෑගි භාණ්ඩ මෙන් කාන්තාවනුත් හෝම් ඩිලිවරි’ ලෙසින්"

    Post a Comment