23 April, 2017

'බන්ධනයට ලක්වූ දැරිය මමයි'

Saheli Sadithma Satharasinghe-Bandana

මේ දිනවල කාගේත් කතාබහට ලක්වී තිබෙන චිත්‍රපටයක් ලෙස උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්‍ෂණය කළ ‘බන්ධනය’ චිත්‍රපටය හඳුන්වන්න පුළුවනි. අද්භූත කතා තේමාවක් රැගත් මේ චිත්‍රපටයේ වඩාත්ම අවධානයට හසුවී තිබෙන්නේ එහි බන්ධනයට ලක්වූ සුමනා දැරිය පිළිබඳවය. තවමත් ප්‍රාථමික අධ්‍යාපනය ලබන මේ කුඩා දැරියගේ ප්‍රථම චිත්‍රපට රංගනය ‘බන්ධනය’ වුවද, ඇය කැමරාවට ආගන්තුකයෙක් නොවූවාය.

මීට පෙර ටෙලිනාට්‍ය හා වෙළෙඳ දැන්වීම්වලින් කාගේත් සිත් දිනාගත් මේ කුඩා දැරිය නමින් සහේලි සදිත්මා සතරසිංහ ය. කොළඹ 10, ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුම ලබන සහේලි, ‘බන්ධනය’ චිත්‍රපටයේ රඟපා ඇත්තේ 2 වැනි වසරේ ඉගෙනුම ලබන අවධියේය.

මේ කුඩා දැරිය වයස අවුරුදු දෙකහමාරේදී සිරස රූපවාහිනියේ ‘සුජාතා’ ටෙලිනාට්‍යයේ රඟපාමින් රංගනයේ අත්පොත් තැබූ අතර එතැන් සිට ඇයට වෙළෙඳ දැන්වීම් ගලා එන්නට වූවාය. ටෙලිනාට්‍ය කිහිපයකම කුඩා අවධියේම රඟපෑමට තරම් ඇය දක්ෂ වූවාය.

සහේලිගේ ප්‍රථම චිත්‍රපට රංගනයට අවස්ථාව ලැබුණු අයුරු පැහැදිලි කළේ ඇයගේ අම්මා වන ඉමානි කළුආරච්චිය. ”සහේලි දුව ආනන්ද අබේනායක මහතාගේ ‘තාරා’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. එහි සුජාතා ප්‍රේමරත්නත් රඟපෑවා. ඒ දවස්වල සුජාතා ඇන්ටිට උදයකාන්ත කියලා තිබුණා, දක්ෂ ළමයෙක් ඉන්නවා නම් කියන්න කියලා. ඇන්ටි මගේ දියණිය ගැන උදය අයියාට කියලා. එතකොට උදය අයියාත් ඒ ටෙලිනාට්‍ය බලලා තිබෙනවා. පස්සේ උදය අයියා අපට ඔහුගේ ගෙදරට එන්න කිව්වා. මායි සහේලි දුවයි, අනෙක් චූටි දුවයි සැමියයි ඔහුගේ ගෙදරට ගියා. දුවට අසනීප වූ අයෙක් විදිහට පොඩි ඇක්ට් එකක් කරන්න කිව්වා.

තව නටන්නත් කිව්වා. ඒවා ඔහු ෆෝන් එකෙන් වීඩියෝ කරගත්තා. පස්සේ දියණිය ගැන ආසා හිතිලා අපට ස්ක්‍රිප්ට් එක එව්වා බලන්න. දුව එතකොට පොඩියි. උදය අයියා කිව්වේ පොඩි වුණාට, ඇය මේ චරිතයට හොඳයි කියලා. අපි පිටපත බැලූවාම මෙය ළමා චරිතයක් නොවෙයි, හොල්මනක් වැහෙන වෙනස්ම විදිහේ චරිතයක් බව වැටහුණා. අපි කැමති වුණා. නමුත් මුලින් චකිතයක් ආවා. ඒත් දුවගේ දක්ෂතා පෙන්වන්න මේක හොඳ අවස්ථාවක් කියලා අපට තේරුණු හින්දා කැමති වුණා. ඔය විදිහට තමයි ‘බන්ධනය’ චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ.”

‘බන්ධනය’ චිත්‍රපටයේ රූපගත කිරීම් හොරණ හා ආනමඩුව යන ප්‍රදේශවල සිදුකර තිබේ. ඇය ඒ සඳහා එක්කරගෙන ගිහින් තිබුණේ පියා වන වසන්ත සතරසිංහය. උදයකාන්ත ස්ක්‍රිප්ට් එක සහේලි දුවට නොපෙන්වා කතාව පමණක් ඇයට කියාදෙන ලෙසට මවුපියන්ට උපදෙස් දී තිබුණි. ඔහු ඇයගේ දක්ෂතා උපරිමයෙන් ලබාගත්තේ ඒ නිසාවෙන් බව පැහැදිලිය. චිත්‍රපටයේ මංගල දර්ශනය දා සහේලිට උණුසුම් ප්‍රතිචාර හිමිවුණි.

ඒ ගැන මේ කුඩා දැරිය පැවසුවේ මෙවන් වූ අදහසකි. ”ඇත්තෙන්ම ලොකු සතුටක් දැනුණා. මාමලා නැන්දලා මට ගොඩක් හොඳ කිව්වා. මම ගෙදරදී වැඩිය දඟලන කෙනෙක් නොවෙයි. ඉතිං අම්මයි තාත්තයි පුදුම වුණා මේ මමම ද රඟපෑවේ කියලා. අපේ ඉස්කෝලේ විදුහල්පතිනි තුෂාරි මැඩම් එදා චිත්‍රපටය බලලා මට ගොඩක් හොඳ කිව්වා. මට හරිම සතුටුයි.

ලොකු අන්කල්ලා ඇන්ටිලා මාව දැක්කාම මේ අර හොල්මන වැහිච්ච ළමයා නේද කියලා අහනවා.” සහේලි දැරියට ලැබෙන ප්‍රතිචාර නම් ඉතා ඉහළය. සමහරු ඇයගේ ඒ රංගනය දැක බියට පත්වූ අවස්ථා ද තිබේ. ඒ තරමට ඇය බන්ධනයට ලක්වූ චරිතය හොඳින් රඟපා තිබෙන්නීය. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට (ට්‍රේලර්) යන අවධියේ පවා ප්‍රතිචාර ගලා එන්නට වූයේ ඒ නිසාවෙනි.

පාසලේ හැම කලා කටයුත්තකටම දායකවෙන සහේලි නාට්‍ය හා රංගන කලා විෂය බාහිර විෂයයක් ලෙස හදාරන්නට වූවාය.

ඇය පසුගිය කාලයේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්‍ෂණය කළ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ ද හේමාල් රණසිංහගේ දියණිය ලෙස රඟපෑවාය. ‘බන්ධනය’ චිත්‍රපටයේ ද ඇය හේමාල්ගේ දියණිය වූවාය. මේ දිනවල නෙත්ත්‍ඵ ගුවන් විදුලියේ ප්‍රචාරය වන ‘සත්‍යා’ ගුවන් විදුලි නාට්‍යයේ සත්‍යාට හඬ කවන්නේ සහේලිය. ඉදිරියේ දී ඩොනල්ඞ් ජයන්තගේ අලූත් චිත්‍රපටයේ රඟපෑමට බලාපොරොත්තු වන ඇයට වෙළෙඳ දැන්වීම් කිහිපයකට ආරාධනා ලැබ තිබෙන්නීය. එමෙන්ම ජැක්සන් ඇන්තනීගේ ‘සී රජ’ ටෙලිනාට්‍යයේ ඇය කළ රඟපෑම ප්‍රවීණයන්ගේ ප්‍රශංසාවට ලක්වූවාය.

”රංගනයෙන් ඉදිරියට යන්න මම ආසයි. ඒ වගේම ඉගෙන ගන්නත් ආසයි. අම්මයි තාත්තයි මට හොඳ නරක කියලා දෙනවා. ඉතිං ඒ විදිහට වැඩ කරනවා. මාමලා නැන්දලා ගොඩාක් හොඳ දේවල් මට කියා දෙනවා. ඉතිං ඒ අය මට ගොඩක් ආදරෙයි. ඒ හැමෝටම මම කියන්නේ ‘බන්ධනය’ චිත්‍රපටය බලන්න කියලයි. පාසලේ ගුරුවරුත් මම ආදරෙයි.

යාළුවෝත් සපෝට් කරනවා. හැමෝටම ස්තූති කරනවා.” පුංචි සහේලි දැරිය කතා කළේ හරිම හුරතල් විදිහටය. ඇයගේ මේ චිත්‍රපට රංගනය වෙනුවෙන් උදයකාන්ත වර්ණසූරිය, ඩොනල්ඞ් ජයන්ත, සුජාතා ප්‍රේමරත්න, විදුහල්පතිනි තුෂාරි ද සිල්වා යන මහත්ම මහත්මීන්ට තුති පුදකරන්න අමතක කළේ නම් නැත. පුංචි සහේලි හෙට දිනයේ මෙරට කලා ක්ෂේත්‍ත්‍රයේ පෙරැළිකාර රංගනශිල්පිනියක් වෙන බවට නම් නොඅනුමානය. ඇය මෙරට දක්ෂතම නිළිය වන බවට ‘බන්ධනය’ චිත්‍රපටයෙන්ම පෙන්නුම් කර තිබෙන්නීය. සහේලි දියණියෙනි, ‘රසවින්දන’ සුබපැතුම් එක්කරන්නේ හදපිරි සතුටකිනි. මේ පුංචි තාරකාව හෙට දින කලා ලොව දීප්තිමත් කරනු දැකීම අපගේ ද පැතුමයි.

(සටහන - සමන්ත යහම්පත්-mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'බන්ධනයට ලක්වූ දැරිය මමයි'"

    Post a Comment