25 March, 2017

අපිට කතා කරන්න බැරි ප්‍රශ්නයක් නැහැ

Shalini Tharaka-02

තමන්ට සම්මානයක් නොලැබුණත් දුකක් නැතිව ගෙදර යන්න පුළුවන්ද?

ඔව්. සම්මානයක් නොලැබෙන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. සම්මාන නොලැබුණත් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ මට ලැබෙනවා.

ශලිනි ජනප්‍රිය නිළි සම්මානය ලබන්නේ තුන්වැනි වතාවට. හැබැයි ශලනිගේ හීනය තියෙන්නේ වෙන තැනක නේද?

ඔව්. මම කැමැති හොඳම නිළිය වෙන්න.

ඒ හීනෙ හැබෑ කරගන්න තව දුර වැඩිද?

ඒක කොයි කාලේ ලැබෙයිද කියලා කියන්න බෑ. ඒක ලැබෙන නිර්මාණ එක්කත් තීරණය වෙනවනේ. සමහරු නම් නිර්මාණයක් කරද්දි කියනවා මේකට සම්මානයක් ලැබෙයි කියලා. විනිශ්චය මණ්ඩලය අතේනෙ ඒ තීරණය තියෙන්නේ. ලැබෙන කාලෙට ඒ සම්මානය මට ලැබෙයි. මම කැමැතියි පහුවෙලා ඒ සම්මානය ලැබෙනවට. මොකද පහුවෙලා ලැබෙන දේ අගය වැඩියිනේ.

මේ දවස්වල නියැළෙන රංගන වැඩ කටයුතු මොනවද කියලත් කියමු?

මුතුමලී ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඒ නාට්‍යයට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. තවත් ටෙලි නාට්‍ය දෙකක් ලබන මාසේ විකාශය වෙන්න තියෙනවා. අලුත් ටෙලි නාට්‍ය දෙකක ෂූටින් ළඟදී පටන් ගන්නවා.

සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?

බෙනට් රත්නායකගේ නෙලා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී තිරගත වෙන්න තිබෙනවා. මම චිත්‍රපටයේ නිරූපණය කරන්නේ විරූපී චරිතයක්. ඒක මගේ ප්‍රේක්ෂකයන්ට වෙනස් අත්දැකීමක් වෙයි.

ක්‍ෂේත්‍රයට ආපු කාලයේ රියැලිටිවල දැකපු ශලනි දැන් නම් රියැලිටිවල දකින්න නෑ. රියැලිටි වැඩසටහන් මඟ හරින හේතුව මොකද්ද?

රියැලිටි වැඩසටහන්වලට ගියාම අපේ අනෙක් වැඩ කරගන්නත් කාලය මදි. එහෙම වුණාම කරන එක වැඩකටවත් හරියට දෙයක් කරන්න බෑ. ක්‍ෂේත්‍රයට ආපු ගමන් රියැලිටි කළාට කමක් නෑ. ස්ථාවරයක් ගොඩනඟා ගෙන එද්දි රියැලිටිවලට යන්න ඕන කියලා මම හිතන්නේ නෑ. ඒක මගේ අදහස. ඉතිං මට රියැලිටි වැඩසටහන් අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ වැඩසටහන්වලින් සම්පූර්ණයෙන්ම අෑත්වෙලා ඉන්න මම තීරණය කළා.

පසුගිය කාලේ කතාවක් පැතිරුණා ශලනිට හේමාල් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා, ඒ ප්‍රේම සම්බන්ධය දෙදරලා ගියා කියලා. මොනවද මේ කතා?

හේමාල්, මගේ හොඳ යාළුවෙක්. අපි ඉස්සර නිතර හම්බුණා. දැන් අපි දෙන්නම කාර්ය බහුලයි. ඉතිං නිතර හම්බෙන්න බෑ. හැබැයි අපි ඉඳල හිටලා කෝල්, මැසේජ් කරනවා. කොහේ හරි දැක්කොත් වෙනදා වගේම කතා කරනවා. අපිට කතා කරන්න බැරි ප්‍රශ්නයක් නැහැ. නිතර හමු නොවුණත් මිතුරුකමක් අපේ හිත්වල තියෙනවා.

ඒ කියන්නේ දෙන්නා අතරේ තිබ්බෙත් මිත්‍රකමක් විතරද?

ඔව්. අපි යාළුවෝ විතරයි.

එහෙනම් විශේෂ කෙනෙක් ඇතිනේ?

එහෙම කෙනෙක් ඇත්තටම නැහැ. මම බොහොම නිදහසේ ඉන්නවා. මගේ නිදහස නැති කරන්න අම්මලා නම් මට කෙනෙක්ව හොයනවා.

හැබැයි ක්‍ෂේත්‍රයේ තරුණයෝ නම් ශලනි වටේ කැරකෙනවා කියලා ආරංචියි?

කැරකෙන අය ඇති. හැබැයි ඒක මම ඔළුවට දාගන්නේ නෑ. ආදර යෝජනාත් ඇවිත් තියෙනවා. මම ඒවා හිමින් සීරුවේ ප්‍රතික්ෂේප කරනවා. මට අවශ්‍ය නැති නිසා. හැබැයි ඒ අය තාමත් මාත් එක්ක හිතවත්.

-තිළිණි කෞශල්‍යා විජේසිංහ (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අපිට කතා කරන්න බැරි ප්‍රශ්නයක් නැහැ"

    Post a Comment