30 January, 2017

සිසුහු හත් දෙනෙක් පෙරෙට්ටුවේදී හඳුනාගැනෙති

නවක වදයට එරෙහි වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවැනි වසරේ සිසුවකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ සිසුන් 08 දෙනකු අතරින් හත් දෙනකු හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී පහර කෑමට ලක්වූ සිසුවා විසින් හඳුනාගනු ලැබීය.

පේරාදෙණිය පොලිසිය (24දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් මෙම මස 26 දින තෙක් මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබිණි.

අදාළ නඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා යළි කැඳවූ අවස්ථාවේ හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සිසුන් අට දෙනා අතරින් හත් දෙනකු හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනා පෙබරවාරි මස 09 දින තෙක් මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ඉකුත් 18දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතන කොරිඩෝවේදී මෙම පහරදීම සිදුව තිබෙන අතර ඉන් තුවාල ලද සිසුවා පේරාදෙණි ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ගනු ලැබීය.

සැකකාර සිසුන් නවක වදයට පක්ෂ සිසු පිරිසක් බවත් ඔවුන් විසින් පහරදීම සිදු කළ බව කියන සිසුවා නවක වදයට එරෙහි සිසුවකු බවත් ඔහු අනුරාධපුර මහාධිකරණ විනිසුරුවරයාගේ පුත්‍රයකු බවත් පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

මෙම පහරදීම සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි බව සඳහන් සිසුවියන් දෙදෙනකු ලබාදුන් කටඋත්තරයක් මත සැකකාර සිසුන් අත්අඩංගුවට ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මඟින්ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරුණි.

sabaragamuwa-university-students-protest

-මහනුවර - කමල් සුරවීර_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිසුහු හත් දෙනෙක් පෙරෙට්ටුවේදී හඳුනාගැනෙති "

    Post a Comment