17 January, 2017

බිව්වම දිව්‍ය ලෝක සැප ගෙනදෙන, පාඩම් කරපුවා හොඳට මතක හිටින චූන් මත් පෙත්තේ කතාව

night-club-drugs

" නයිට් ක්ලබ්වල හොඳට විකිණෙනවා"

"කටේ දාගත්තම හරි සැපයි...

මාලිගාවත්ත පොලිස් වසමේ පදිංචි ෆයාස් යන අය ධනවතෙකි. ඔහු ධනවතකු වී තිබෙන්නේ අනවසර මත්ද්‍රව්‍ය ජාවාරම් වලිනි. ඔහුගේ ප්‍රධානම ආදායම් මාර්ගය වුයේ මත්පෙති ව්‍යාපාරයයි.

පසුගිය දිනෙක ඔහුට රුපියල් එක්ලක්ෂ විසිදහසක ඇනවුමක් ලැබිණි.
එම ඇනවුම බාර දුන්නේ ඔහුගෙන් නිතරම මත්පෙති මිල දී ගන්නා විශ්වාසවන්ත හිතවතකුගෙනි. නමුත්... ඒ මත්පෙති ඔහුට නොව ඔහුගේ හිතවතකුටය.

හිතවතාගේ නිවෙසේ සාදයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත. ඔහු මිතුරා මාර්ගයෙන් මත්පෙති හතළිහක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ සාදයට පැමිණෙන අයට දීම සඳහාය.

පානය කොට ටික වේලාවක් ගත වෙද්දී දිව්‍යලෝක සැප ගෙනදෙන පෙති හතලිහක මිල රුපියල් එක්ලක්ෂ විසිදහසකි.

කතිකා කරගත් පරිදි පසුගිය දිනෙක මෙම පුද්ගලයා මාලිගාවත්ත ජුම්මා පල්ලිය අසලට ගියේ රුපියල් එක්ලක්ෂ විසිදහසක් ද අතැතිවය.

එම ස්ථානයට ෆයාස් පැමිණ සිටියේය. මුදල් ලබාගත් ෆයාස් එම පුද්ගලයාට කියා සිටියේ බඩු රැගෙන එන තෙක් එම ස්ථානයේම රැඳී සිටින ලෙසටය. ඔහු එම ස්ථානයේ විනාඩි දහයක පමණ කාලයක් ගෙවා දැම්මේය. ඒ කාලය අතරතුරේදී එක් එක් මාදිලියේ පුද්ගලයන් පැමිණ වට පිට සෝදිසි කර යනු ඔහු දුටුවේය.

සමහරු යතුරුපැදිවලින් ද, තවත් අය ත්‍රීරෝද රථ වලින් ද පමණක් නොව පා ගමනින් ද පැමිණියද ෆයාස් ගේ ඔත්තු කරුවන් වට පිටාවේ ආරක්ෂාව තහවුරු කරන තුරු බඩු රැගෙන එන බවක් පෙනෙන්නට තිබුණේ නැත.

ඊට ස්වල්ප වේලාවකට පසු නාදුනන පුද්ගලයකු පැමිණ මුදල් දුන් අය අත පාර්සලයක් තැබුවේ අයියා මේ පාර්සලය දෙන්නට කියු බව කියමිනි.

ඔහු පාර්සලය අතට ගන්නටත් පෙර පාර්සලය රැගෙන ආ අය වටකරගත් පිරිසක් ඔහුගේ දැතට මාංචු දැම්මේ ඔවුන් සුරාබදු දෙපාර්තමේන්තුවේ බව කියමින්ය.

මත්පෙති ද සමඟ අත්අඩංගුවට පත්ව තිබුණේ ෆයාස් ගේ මල්ලී ඉස්කාර්ය.

සුරාබදු නිලධාරී කණ්ඩයම ෆයාස්ගේ නිවෙස වට කළද ඔහු ඒ වන විට පැන ගොසිනි. නිවෙස පරීක්ෂා කිරීමේදී මත්පෙති ඇසිරීම සඳහා යොදාගන්නා කවර ආදිය හමු වුවද මත් පෙති හමුවුයේ නැත.

මාලිගාවත්තේ පදිංචි ෆයාස් යන අය මත්පෙති ජාවාරමක යෙදී සිටින බවට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට තොරතුරක් ලැබුණේ මීට මාස කිහිපයකට පෙරය.

සුරාබදු නියාමක ධනංජය පුෂ්පකුමාර මෙම මෙහෙයුමට යෙදවීමට ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්. හේමන්ත මහතා කටයුතු කළේය.

තොරතුරු සොයා ගිය ධනංජය රාත්‍රි සමාජ ශාලාවල, මෙන්ම මුහුදු වෙරළවල පැවැත්වෙන බීච් පාටි’ වලට ගොස් මත්පෙති විකුණන අයකු සොයා ගැනීමට උත්සාහ කළේය. එම උත්සාහය සාර්ථක වූ අතර ෆයාස්ගේ ළඟම හිතවතකු හඳුනාගැනීමේ අවස්ථාව ඔහුට උදාවිය.

ධනංජය දෙවතාවතක් පමණ මිතුරු මාර්ගයේ මත්පෙති කිහිපයක් මිල දී ගත්තේය.

ඒ අයුරින් විශ්වාසය තහවුරු කරගත් ධනංජය ඊළඟට නිවෙසේ පැවැත්වෙන සාදයකට මත්පෙති අවශ්‍ය බව කියා මිල දී ගැනීමට උත්සාහ දැරුවේය.
ඒ අනුව මත්පෙති හතළිහක් ඇනවුම් කළ අතර ඒ සඳහා වන රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදල ලබාදුන්නේ එහෙත්.

ධනංජයට ලැබී තිබුණේ මත්පෙති තිස්අටක් පමණි. එතැනදී ද ෆයාස් මත්පෙති දෙකක් වංචා කර ඇත. මත් පෙති දෙකේ වටිනාකම රුපියල් හය දහසකි.
මෙම කෘත්‍රිම මත්පෙති නිල් කහ, රතු පාටින් හා වවුලකුගේ හා ගොනකුගේ හැඩ වලින් තනා ඇත. මෙම පෙති භාවිතාකොට සුළු වේලාවකදී ස්නායු පද්ධතියේ වෙනස්කමක් සිදුවන අතර ඉන්පසු පැය ගාණක් නටන්නට නිදිමරන්නට හෝ වෙනයම් අවශ්‍යතාවයක හෝ නිරත වී සිටිය හැකි බව සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළි වී තිබේ.

එක් එක් ආකාරයට සැකසු මත් පෙති වර්ග මේ වන විට මෙරටට ගලා එම වැලැක්විය නොහැකි තරම් දුරදිග ගිය ව්‍යාපාරයක් බවට පත්ව ඇත.

සමහර අන්තර්ජාල වෙබ් අඩවි හරහා ද මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කෙරෙන බැවින් ඉතා පහසුවෙන් විදෙස් රටවල සිට ගුවන් මගින් ලිපි ගෙන්වා ගන්නා ආකාරයට මෙරටට මත්පෙති ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇත. 

මීට ටික දිනකට පෙර එක්තරා විශ්ව විද්‍යාලයක ඉංජීනේරු පීඨයේ තුන්වන වසරේ සිසුවකු සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ එල්.එස්.ඩී. එනම් ස්ටෑම්ප් ලෙස හඳුන්වන හතරැස් අඟලේ මුද්දරයක් බඳු මත්පෙති කිහිපයක් සමඟය.

එම පීඨයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට තොරතුරක් ලැබෙන අතර ඒ මෙහෙයුම සඳහා ධනංජය ඉදිරිපත් වන්නේ අතුගාන අයකු ලෙසටය. පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අතුගෑමේ රැකියාවක් සොයා ගන්නා ධනංජය ස්ටෑම්ප් ජාවාරම් කරු හඳුනා ගන්නා අතර ඔහුගේ මිතුරන් ද සමඟ මිතුරු වීමට ඔහු උත්සාහ කළේය.

ඒ අනුව ඔහුගෙන් ස්ටෑම්ප් මිල දී ගන්න මිතුරකු හිතවත් කරගෙන ඔහු ස්ටෑම්ප් මිල දී ගන්න අවස්ථාවක ඉංජීනේරු සිසුවා අත්අඩංගුවට ගැනීමට ධනංජය කටයුතු කළේය.

“මම මේවා ඉන්ටනෙට් එක හරහා ඕඩ කරලයි ගෙන්වා ගන්නේ. එකපාරකට ස්ටෑම්ප් පන්සීයක් ගෙන්වා ගන්නවා. රුපියල් පනස් දාහක් වගේ තමයි යන්නේ ඒවා විකුණලා එක්ලක්ෂ පනස්දාහක් විතර හොයා ගන්න පුලුවන්”

“මේවා නීති විරෝධියි කියලා මම දැනගෙන සිටියේ නෑ. ස්ටෑම්ප් එකෙන් කෑල්ලක් කටේ දාගත්තම හරිම සැපයි. මම මේ විදියට විභාග පාස් වුණේ. මට හොඳට පාඩම් කරන්න පුලුවන් වුණෙත්, පාඩම් කරපුවා මතක හිටින්නෙත් ස්ටෑම්ප් නිසා”

විසි එක් හැවිරිදි ඉංජීනේරු සිසුවා සුරාබදු නිලධාරීන් හමුවේ පවසා සිටියේ එවැන්නකි. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඔහු මේ වන විට ඇප මත නිදහස ලබා සිටී.

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බිව්වම දිව්‍ය ලෝක සැප ගෙනදෙන, පාඩම් කරපුවා හොඳට මතක හිටින චූන් මත් පෙත්තේ කතාව"

    Post a Comment