19 January, 2017

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක්

gampaha-tuition-students-sex

ගම්පහ මහ නගර සභා සීමාව තුළ ඇති ඔසුසල් වලින් පවුල් සැලසුම් උපකරණ සහ ලිංගික උත්තේජන සඳහා වන පෙති වර්ග වැඩිපුර අලෙවි වන බව කලක සිට තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඒ පිළිබඳව කළ වැඩිදුර විමසීමක දී ඒවා වැඩි වශයෙන් අලෙවි වනුයේ උපකාරක පන්ති සඳහා ගම්පහ නගරයට පැමිණෙන තරුණ සිසු සිසුවියන් හට බව අනාවරණය වූ බවත් ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා ලක්බිමට කීය. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් දිනකට සිසුන් අති විශාල පිරිසක් උපකාරක පන්ති සඳහා පැමිණෙන ගම්පහ නගරය මුල් කොට ලිංගිකත්වය පදනම්කොටගත් උප සංස්කෘතියක් ගොඩ නැගී ඇති බවට ද තමන් හමුවේ කරුණු ඉදිරිපත් වී ඇති බව සේනානායක මහතා කියයි.

“ මේ ලිංගික උප සංස්කෘතියට නතු වෙලා තියෙන්නේ ගම්පහ නගර සභා සීමාවේ තරුණ තරුණියන් සියයට දශම ගණනක් වෙන්න පුළුවන්; මොකද ගම්පහ ටියුෂන් වලට මාතර, හම්බන්තොට, අනුරධපුර, 

පොළොන්නරුව වගේ දුර පළාත් වල සිසු සිසුවියන් පවා එනවා. නමුත් ඒ දරුවන් ඉගෙන ගැනීමේ මුවාවෙන් කරන මේවගේ ක්‍රියාකාරකම් ගැන හුඟක් දෙමව්පියෝ සංවේදී නැහැ. 

උදේ පාන්දර ගෙදරින් පිටත්වෙලා රෑ දහයට එකොළහට ගෙදර එන දරුවන්ගෙන් සමහර දෙමව්පියෝ අහන්නේ “දැන්ද ආවේ?” කියලා විතරයි; උදේ ගෙදරින් පිටත් වුණු වෙලාවේ ඉඳලා, ගෙදරට එන කම් ගියේ කොහෙද? කළේ මොනවද? කියලා විමසලා බලන දෙමව්පියෝ හුඟක් අඩුයි.

මේ අතර ගම්පහ නගර සීමාව තුළ සහ ඉන් බැහැරට ඇති ලැඟුම්හල් රාශියක ද මෙම තරුණ තරුණියන් සඳහා නවාතැන් පහසුව සලසන බව කී හිටපු නගරාධිපතිවරයා ඇතැම් ස්ථානවල ඔවුන් සඳහා විශේෂ පැකේජයක් ක්‍රියාත්මක වන බව ද දැනගන්නට ඇතැයි කීය.
“මම නගරාධිපතිවරයා හැටියට කටයුතු කරන කාලේ නගර සභාවේ බලපත්‍ර ලබාදුන්නේ එකම එක ලැඟුම් හලකට විතරයි; ඒකත් සංචාරක මණ්ඩලයේ අවසර හිමිකරගත්තු එකක්. නමුත් ඊට කලින් කිසිම වග විභාගයකින් තොරව බලපත්‍ර ලබාදීපු ලැඟුම් හල් රාශියක් මේ ගම්පහ නගරය අවට තිබෙනවා" හිටපු නගරාධිපතිවරයා කීය.

“ඊට අමතරව මේ විදිහට ටියුෂන් පන්ති වලට එන තරුණ තරුණියන්ට කාමර පහසුකම් සැපයීම සඳහා යොදා ගන්නා කිසිම නීත්‍යානුකූල පදනමක් නැති ස්ථාන ගණනාවක්ම මේ අවට පවතින බව අපට දැන ගන්නට ලැබී තිබෙනවා. ඔවුන් මේ ස්ථානවලට තරුණ ජෝඩු කැඳවා ගන්නේ ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන්ගේ උපකාරයෙන් බවත් දැනගන්නට තිබෙනවා" හිටපු නගරාධිපති වරයා කීය.

(මේ සම්බන්ධ තවත් සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.)

ප්‍රසංග පෙරේරා - ජා ඇල

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක්"

    Post a Comment