16 January, 2017

“රෑ නින්දක් නැතිව එක දිගට අඬන මේ දරුවා දිහා කොහොම බලා ඉන්නද?” - තවත් සංවේදී කතාවක්

methuja-liver-patient

මෙතුජ පුතාගේ වයස අවුරුදු දෙකහමාරයි. මේ වයසේ දරුවන් කොයිතරම් සුරතල්ද? කොයිතරම් දඟකාරද? අම්මලා, තාත්තලා එකතු වෙලා මේ වගේ දරුවෝ දිහා බලාගෙන ඉන්නේ මොන තරම් සතුටකින්ද?
ඒත් මෙතුජගේ පරිසරය තුළ එවැනි සුන්දරත්වයක් නැහැ. ඒ වෙනුවට මෙතුජ ඉන්නේ හැම මොහොතකම වේදනාවෙන්, ඇඬු කඳුළින්. මේවා දකින එයාගේ අම්මා, තාත්තා වගේම ආච්චිලා, සීයලාත් ඉන්නේ මානසික ආතතියකින්.

“මෙතුජ පුතා මට ලැබුණේ අපි විවාහ වෙලා අවුරුදු 5 ක් විතර ගතවුණාට පසුවයි. ඒතරම් කාලයක් පෙරුම් පුරලයි මේ දරුවව අපි ලබාගත්තේ. ඒත් ඉපදිලා මාස දෙක තුනකින් අපිට අහන්න ලැබුණේ මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් අහන්න කැමැති නැති ආරංචියක්.”

ඉපදිලා ටික දවසකින් පුංචි මෙතුජ පුතාගේ උදරය තරමක් ඉදිමෙන්න පටන් ගත්තා. මේ වෙනසත් එක්ක තමයි නදීකා දරුවා අරගෙන වව්නියාවේ රෝහලට යන්නේ.

එතනදී දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බලන්න වෛද්‍ය පරීක්ෂණ කීපයක් සිදුවෙනවා. අවසානයේදී තමයි මෙතුජ පුතාගේ අක්මාවට විෂබිජයක් ඇතුළු වෙලා කියලා සොයා ගන්නේ.

“වෛද්‍යවරු එදා කිව්වා දරුවාගේ ජීවිතේ බේරගන්න ඕන නම් කාගෙන් හරි ලබාගන්නා අක්මාවක කොටසක් ඔහුට බද්ධ කළ යුතුයි කියලා.”

“මේ ඔපරේෂන් එක ඉන්දියාවේ චෙන්නායිවල තිබෙන ග්ලෝබල් රෝහ‍ලේදී සිදුකළ යුතු බවත් දන්වා සිටියා.”

නදීකා විවාහ වෙලා ඉන්නේ නිශාන්ත එක්ක. ඔහු වව්නියාවේ නිදහස් මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරන කෙනෙක්. නදීකා ස්වේච්ඡා ගුරුවරියක් විදිහට වැඩ කරනවා.

මේ දෙන්නට දරුවාගේ ඔපරේෂන් එක සඳහා සොයා ගැනීමට වුවමනා වන රුපියල් ලක්ෂ 70 සොයා ගන්නවා කියන්නේ ඇත්තටම හීනයක්.

“අද වෙද්දී අපි ලක්ෂ 35 ක් විතර හොයා ගත්තා. තව ලක්ෂ 35ක් විතර සොයාගන්න ඕන.”

“මේ කාලය පුරාවට දරුවා කොයිතරම් දුක් වින්දද, අපි කොයිතරම් දුක් වින්දද කියලා දන්නේ අපිම විතරයි.”
“පුතා එක වෙලාවකට නොනවත්වා මුළු ඇඟම කසනවා. ඉවස ගන්න බැරිවුණාම අඬනවා. කැසුවට පස්සේ මුළු ඇඟේම තුවාල හැදෙනවා.”

“ඒ විතරක් නමෛයි, එක වෙලාවකට කුහුඹු වගේම කඩි වගේ සත්තු ඇඟට දමාගෙන උන් ලවා කවා ගන්නවා. තවත් වෙලාවකට වැලි අරගෙන මුළු ඇඟටම දාලා කසනවා.”

“මේවා ඉවස ගන්න බැරිවුණාම කෑගහලා අඬනවා.”

මෙතුජ කෑමට, බිමට පවා හොරයි. ඒ ඔහුගේ කටේ විදුරුමස් තුළ ඇති ඉදිමුම වගේම තුවාල හින්දා.
තවත් වෙලාවකට නහයෙන් රුධිරය පිටතට ගලනවා.

ඉතින් මේ වගේ ලොකු අර්බුද මැදින් තමයි මෙතුජ පුතාව නදීකා බලාගන්නේ.

“මට හරියට නින්දක් නැහැ. දරුවා ඉපදුණ දවසේ ඉඳලම මම රෝහල්වල. ගෙදර හිටියොත් ඇහැරිලා. පුතා නැගිට නැගිට රෑ තිස්සේ කසන කොට ඒක ඉවස ගන්න බැරිව එයා අඬනවා.”

“ඒ වගේම හැමතිස්සෙම එයාව වඩාගෙන තමයි ඉන්න වෙලා තියෙන්නේ. බිම තිබ්බ ගමන් පුතා වැලි, දුහුවිලි අල්ලනවා. ඒවා ඇඟේ තවරා ගන්නවා.”

“මේ දරුවා හින්දා මම විඳින්නේ සුළුපටු වේදනාවක් නමෛයි මහත්තයා.” නදීකා සංවේගයෙන් යුතුව කියනවා.

නදීකා කියන විදියට දැන් ඇය මේ දරුවා වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා. කොටින්ම දැන් ඇයට පෞද්ගලික ජීවිතයක් කියලා එකක් නැති තරම්.

“මම කිසිම ගමනක්, බිමනක් මගේ පුතා නැතිව යන්නේ නැහැ. එයාව එක්කරගෙන යන්න බැරි හින්දා නෑදෑ ගමනක්, උත්සව අවස්ථාවකට සහභාගි වෙන්නෙම නැහැ. උදේ රස්සාවට ගිහින් ගෙදර ආපු හැටියේ ඉන්නේ දරුවා එක්ක.”

“ඇත්තටම මේ මානසික තත්ත්වය හින්දම මටත් දැන් ටිකක් තරහා යනවා. ඒ දරුවා එක්ක නමෛයි. අනිත් අය එක්ක.”

දැන් ඔබට තේරෙනවා ඇති නදීකා මේ පුංචි පුතා හින්දා කොයිතරම් කරදරයක්, වේදනාවක් විඳිනවා ඇත්ද කියලා. ඒ වගේම මේ ඔපරේෂන් එකට අවශ්‍ය මුළු මුදල හොයාගන්න එක පැවැරිලා තියෙන්නේ මෙතුජ පුතාගේ තාත්තා නිශාන්තට. නිශාන්ත ඒ වෙනුවෙන් වෙහෙසෙන තරම කොහොමද කියලා වචනවලට ගොනු කරන්න බැහැ.

ඒ විතරක් නමෛයි තමන්ගේ දරුවා වෙනුවෙන් අක්මාවක කොටසක් පරිත්‍යාග කරලා ඒ උදාර යුතුකම ඉටු කරන්නෙත් නිශාන්තමයි.

“අපිට අපේ දරුවා හුඟාක් වටිනවා. එයා දුක් විඳිනවා, අඬනවා අපිට බලා ඉන්න බැහැ” නිශාන්ත කියනවා.
වව්නියාව වගේ ඈත දුෂ්කර පළාතක ජීවත් වන මේ දෙන්නට, මේ පවුලට ලක්ෂ 70ක් කියන්නේ අතිවිශාල මුදලක්. ඒක හොයාගන්නවා කියන්නේ හීනයක්. ඒත්, ඒක හීනයක් කියලා ඔවුන් නොසිතන්නේ ‘මෙතුජ’ පුතාට තිබෙන ආදරය නිසාමයි. ඒ හින්දා තමයි ඒ හීනය ඇත්තක් කරගන්න ඔවුන් දෙන්නා වෙහෙසෙන්නේ.

ඔවුන්ගේ ගිණුම් අංකය:
ආර් ආර්. එන්. රත්නායක, 7114362, ලංකා බැංකුව, බෝගස්වැව.
දුරකථන: 0716464563, 0766846213
සමන් ප්‍රියංකර නම්මුනිගේ_ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“රෑ නින්දක් නැතිව එක දිගට අඬන මේ දරුවා දිහා කොහොම බලා ඉන්නද?” - තවත් සංවේදී කතාවක්"

    Post a Comment