16 January, 2017

මේ මැදිවියට ගැළපෙන චරිත විතරයි මම කරන්නේ – චමිලා පීරිස්

chamila-peiris-paper-article-16-01-2017


සජීවි මාධ්‍යයක් වුණ වේදිකා නාට්‍යය රංගන ශිල්පීන්ගේ රංගනයට අභ්‍යාසයක් වෙන තිඹිරිගෙයයි. වේදිකා රංගනයත් එක්ක ඔට්ටු වෙන්න හැම කෙනෙකුටම බැහැ. එ්ත් චමිලා පීරිස් කියන්නේ වේදිකාවට නැතිවම බැරි රංගන ශිල්පිනියක්. පුංචි තිරයත් වේදිකාවත් එක්ක ගනුදෙනු කරන ඇය දක්ෂ රංගන ශිල්පිණියක් නිසා ඇය ගැන තොරතුරු මෙවර රිවිසරසි පිටු අතරට ගෙන එන්න හිතුවා. මේ ඇය ගැනයි.

යළිත් වේදිකාගත කරන සාදය මාරයි සල්ලි හමාරයි නාට්‍යයේ ජයනි සේනානායක රඟපෑ චරිතයට පණ පෙවීමට ඔබට ඇරයුම් ලැබුණා කියලා ආරංචියි. ඇත්තද චමිලා..?

සාදය මාරයි සල්ලි හමාරයි කියන නාට්‍යයේ දර්ශන 160 වේදිකාගත කළ පසුව තාවකාලික විරාමයක් ගත්තා. එය යළිත් වේදිකාගත කරනවා මේ මාසේ 20 හා 21. ජයනි සේනානායක රඟපෑ චරිතයට තමයි මට ආරාධනා ලැබුණේ. ඇය ටික කාලයකට විදෙස්ගත වෙනවා.

පේ‍්‍රක්ෂක ආකර්ෂණය වැඩිපුර ලැබුණු නාට්‍යයක රඟපාන්න ආරාධනා ලැබුණම සතුටක් හිතෙන්නත් ඇති..?

ඇත්තටම කිව්වොත් මට ආරාධනා කළාම දැනුනේ සතුටක් නෙමෙයි දුකක්. මම මේ නාට්‍යයේ පළමු දර්ශන වාරය බැලූවා. ජයනි අක්කා ඉතාම සාර්ථක විදිහට එ් චරිතය හසුරනවා මම දැක්කා. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ජයනි අක්කා එ් චරිතයට තාවකාලිකව සමුදෙනවා කිව්වම මට දුක හිතුණේ එ්කයි. එ්වගේම කියන්න ඕන තව කෙනෙක් රඟපෑ චරිතයක් වෙන කෙනෙක් රඟපානකොට කලින් ලැබුණු වරප‍්‍රසාද අනික් කෙනාට ලැබෙන්නේ නැහැ කියන එක. මම මේ චරිතය භාර ගත්තේ එ් කිසිම වරප‍්‍රසාදයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. ජයනි අක්කා තරම් දක්ෂ විදිහට සුක්ෂම විදිහට මේ චරිතය මට හසුරවන්න බැරි වුණත් මම එ් චරිතයට අසාධාරණයක් කරන්නේ නැහැ. මට පුළුවන් උපරිමයෙන් මම එ් චරිතය රඟපානවා. ජයනි යළිත් ආ විගස මේ චරිතය ඇයට භාර දෙනවා.

ජයනි සේනානායක දන්නවාද එ් චරිතයට පණ දෙන්නේ චමිලා බව?

ඔව්. ඇය විදෙස්ගත වෙන බවත් ඇය වෙනුවට මාව යොජනා කරලා තිබුණෙත් ඇයමයි. ඇගේ යෝජනාවට තමයි අධ්‍යක්ෂක මට ආරාධනා කළේ. සාර්ථක නාට්‍යයක් නිසාත් ජයනි අක්කාගේ යෝජනාවක් නිසාත් මම එය ප‍්‍රතික්ෂේප කළේ නැහැ.

සාදය මාරයි සල්ලි හමාරයි හි ලලනි ප‍්‍රනාන්දු ඔබට අභියෝගයක් වෙයිද..?

මේ නාට්‍යයේ ඉන්නේ දක්ෂ පළපුරුදු රංගන ශිල්පීන් ශිල්පිනියන්. එ් අය දර්ශන වාර ගණනාවක් එක්ක ගැටුණ නිසා හරිපහසුවෙන් රඟපානවා. එ්ත් මට එ් චරිතය ආධුනිකයි. එ් නිසා එය මට අභියෝගයක්. ප‍්‍රහසනය සියුම් රංගනයකින් වේදිකාගත කරන්න ඕන. එ්ක අමාරු දෙයක්. මම මේ දවස්වල පුහුණු වෙනවා. නාට්‍යයේ සියලූම දෙනා මට උදව් කරනවා.

චමිලා පීරිස් කියන නිළිය වේදිකාවට මුල් තැන දෙන කෙනෙක් කිව්වොත්..?

ඔව්. මම වේදිකා නාට්‍යවලට මුල්තැන දෙනවා. මගේ රංගන ගමන ආරම්භ වෙන්නේ වේදිකාවෙන්. එ් බර්නාඩාගේ සිපිරිගෙය නාට්‍යයෙන්. 90 වර්ෂයේදී. එ් ආ ගමන මාව ශක්තිමත් කළේ රංගනයෙන් වේදිකාව. එ් නිසා මම වේදිකාවට ආදරෙයි.

ටෙලිනාට්‍ය කලාව කියන්නේ ජනප‍්‍රිය මාධ්‍යයක්. ඔබව වැඩිපුර හඳුනාගත් එ් මාධ්‍යයට දැන් ආරාධනා ලැබෙන්නේ නැද්ද..?

ආරාධනා ලැබෙනවා. මම දැන් මැදිවියේ පසුවන්නියක් නිසා එයට ගැළපෙන චරිත තමයි කරන්නේ.

වේදිකාව ටෙලිනාට්‍ය මේ හැම මාධ්‍යයකින්ම ඔබ කාර්යබහුල වෙද්දි ජීවීතේ විඩාබරයි කියලා දැනෙනවත් ඇති…?

රංගනය කියන්නේ අපූරූ නවාතැනක්. විවිධ චරිත එක්ක රංගනයේ යෙදෙනකොට මගේ ජීවිතෙත් අලූත් කියලා හිතෙනවා. එ් නිසා මට විඩාවක් නැහැ. මැලිකමක් නැහැ.
නාමල් ජයසිංහ. ඔබේ සැමියාත් වේදිකාවට සමීප චරිතයක්.

කාර්යබහුලකම එක්ක කුටුම්බය ආරක්ෂා කරගන්න ඔහු උදව් කරනවාද..?

අපි පුළුවන් හැම වේලාවකම විවේකය හොයාගන්නවා. මම අනිවාර්යයෙන්ම සතිඅන්තයේ හා පෝයට නිවාඩු. මම දුර පළාත්වල රූගත කිරිම්වලට යන්නේ නැහැ. අපිට ඉන්නේ දුවක්. ඇයට වයස අවුරුදු නවයයි. එයාට අම්මාගේ අප්පච්චිගේ ආදරය ආරක්ෂාව ඕන. මම ගෙදර නැත්නම් නාමල් දුව ළඟින් ඉන්නවා. නාමල්ගෙන් උදව් ලැබෙන නිසා පවුල් ජීවිතය සමබරව ගෙනියන්න පුළුවන්.

පුංචි තිරයේ නපුරු චරිත රඟන ඔබට පේ‍්‍රක්ෂක ආදරය ප‍්‍රතිචාරය කොයි විදිහටද ලැබෙන්නේ?

මම නපුරු චරිත රඟපෑවත් මට බොහෝ අය ලෙංගතුයි. එ් චරිත ගැන මාත් එක්ක කතා කරනවා. මගේ නපුරුකමට එ් අය ප‍්‍රතිචාර දක්වන්නේ හිනා වෙලා. නපුරු චරිතවලින් එ් අයට මාත් එක්ක තරහක් එන්නේ මගේ රංගන හැකියාව නිසා කියලා එ් අය කියද්දි මට සතුටුයි.

හර්ෂණී වීරරත්න_රිවිර
ඡුායාරූප : චමිල කරුණාරත්න

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මේ මැදිවියට ගැළපෙන චරිත විතරයි මම කරන්නේ – චමිලා පීරිස්"

    Post a Comment