16 January, 2017

තරු හැඩ වෙන හැටි - රශිපබා සංදීපනී

rashiprabha-sandeepani

අලුත් වැඩ ගොඩයි

මේ දවස්වල නම් Star City වැඩසටහන නිසා කාර්යබහුලයි. එයට අමතරව මනමේ, සිංහබාහු සහ රත්නවල්ලී කියන වේදිකා නාට්‍ය තුනටම සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ අලුත්ම ටෙලි නාට්‍ය මිලීෂා. ඒ ටෙලි නාට්‍යයත් ළඟදීම විකාශය වෙන්න නියමිතයි.

හැඩට ඉන්න ජොගින් කරනවා

මේ දවස්වල Star City නිසා විවිධ නැටුම් පුරුදු වෙනවා. ඒ නිසා ව්‍යායාමවලින් නම් අඩුවක් නෑ. එයට අමතරව සිරුර ලස්සනට තියාගෙන ගාණට ඉන්න ඕනෑ නිසා නිතරම ජොගින් යනවා. ඒ නිසා මගේ සිරුර හැඩට තියෙනවා වගේම ඕනවට වඩා මහත් වෙන්නෙත් නෑ.

උදේට කන්නේ පලතුරු

මම මස් මාළු කන්නේ අඩුවෙන්. බිත්තර නම් කනවා. ඒ වගේම නැවුම් එළකිරි බොන්න ආසයි. එයට අමතරව සෝයා, එළවළු වර්ග, පලතුරු වර්ග ආහාරයට ගන්නවා. උදේට නම් කිරි එකක් බොන්නම ඕනෑ. ඊට පස්සේ උදේට පලතුරු කනවා. දවල්ට නම් එළවළු කීපයක් එක්ක බත් කනවා. රෑට කිරි බීලා පලතුරක් වගේ දෙයක් ආහාරයට ගන්න කැමැතියි.

යෝගට් සහ කැරට් මූණේ ගානවා

යෝගට්වලට කැරට් මිශ්‍ර කරලා මුහුණේ ගානවා. ඒ වගේම අනවශ්‍ය රෝම ඉවත් කරන්න මම තෝරාගන්නේ වැක්ස් ක්‍රමයයි. වෙනිවැල් ගැට, සුදු හඳුන් එක්ක යෝගට් මිශ්‍ර කරලා වැක්ස් එක කරනවා. වතුර ගොඩක් බොන එක නම් මගේ පුරුද්දක්. මම සමේ පෝෂණය ගැන හිතන නිසා හැමදාම රෑට කෝමාරිකා ගාලා උදේට සෝදා ඉවත් කරනවා.

ගෙදරදීම ක්ලෙන්සර් කරනවා

මට තියෙන්නේ හරිම සියුම් සමක්. ඒ නිසා කෙමිකල් වර්ග ඒ තරම් ඔරොත්තු දෙන්නේ නැහැ. මේක් අප් වුණත් ටිකක් හරි වෙනසක් වුණොත් මට පිම්පල් එනවා. ඒ නිසා මම පුළුවන් තරම් ස්වාභාවික දේවල්ම විතරක් පාවිච්චි කරන්න උත්සාහ කරනවා. මගේ අම්මා රූපලාවණ්‍ය ක්ෂේත්‍රය හොඳින් ප්‍රගුණ කළ කෙනෙක්. ඒ නිසාම මට ගෙදරදීම ක්ලීන් අප් එකක් එහෙම කරගන්න පුළුවන්. ඒ වේලාවට ක්ලෙන්සර් එකක් විදියට කෝමාරිකා යුෂ හෝ පිපිඤ්ඤා යුෂ ගන්නවා. ස්ක්‍රබ් කරන්නේ නම් ඉඳලා හිටලා තමයි. ඒ වේලාවට මම වෙළෙඳපොළෙන් මිලට ගන්න පැක් එකක් භාවිත කරනවා. අනෙක් ඒවා නම් කියන්න බෑ. සමහර සමහර දේවල් රහස් නේ.

ගොටුකොළ සම්බෝලෙට ආසයි

මම වැඩියෙන්ම ආසාවෙන් කන දෙයක් තමයි වෙරළු අච්චාරු. ඊට පස්සේ චොකලට් කේක්, චොකලට් මුස්, චොකලට් අයිස්ක්‍රීම් කන්න හුඟක් ආසයි. තව ඉස්සෝ, දැල්ලෝ කනවා. ඉස්සෝ වඩේවලටත් ආසයි. පැණි රසවලටයි, සෝස්වලටයි නම් ආස නෑ. හැබැයි ගොටුකොළ සම්බෝල සෑහෙන්න කනවා.

MAC කොස්මැටික් තමයි පාවිච්චි කරන්නේ

මම මේක් අප් නොකළත් ලිප්ස්ටික් නම් ගානවා. ෂූටිංවල නිතර මේක් අප් කරන නිසා සාමාන්‍ය වෙලාවට මේක් අප් නැතිව සැහැල්ලුවෙන් ඉන්න කැමැතියි. නමුත් මම නිතරම ලිප්ස්ටික් නම් ගානවා. ලිප්ස්ටික් නැති එක මට ලොකු අඩුවක් වගේ. මම පාවිච්චි කරන්නේ මැක් එක. ඒකෙත් රතු, තැඹිලි සහ රෝස වර්ණ පාවිච්චි කරනවා. එයට අමතරව නියුඩ් කලර්වලට හරිම කැමැතියි.

සැලෝන් යන්නේ අඩුවෙන්

මුහුණේ පිම්පල් ආවම එක වතාවක් නම් මම ආයුර්වේද ප්‍රතිකාර කළා. ඒකෙන් තමයි හොඳටම හොඳ වුණේ. දැන් නම් ඒ තරම් පිම්පල් එන්නේ නෑ. ඒත් පිම්පල් ආවොත් සැලුන් එකකින් පිම්පල් ටි්‍රට්මන්ට් කරනවා. ඒ ඇරෙන්න ඇස් බැමි හදන්න වගේම මෙනික්‍යු, පෙඩික්‍යුවලට සැලුන් යනවා. ඒ හැරුණාම විශේෂ උත්සව අවස්ථාවලදී මේක් අප් සඳහා විතරක් සැලුන් යනවා.

කෑම හදන්න ආසයි

ෆෘට් සැලට්, වටලප්පන් වගේ දේවල් කන්නත් ආසයි. හදන්නත් ආසයි. කොහොමත් මම අලුත් අලුත් කෑම වර්ග හදන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලත් හදන්න උත්සාහ අරන් තියෙනවා. පුඩින්, කේක් නම් රසටම හදන්න පුළුවන්. මම හදන කේක් කන්න හැමෝම කැමැතියි. මට දැන් සිංහල කෑම වර්ග හදන්න ආසාවක් තියෙනවා. මේ අවුරුද්දේ නම් සිංහල අවුරුද්දට කොහොම හරි කැවුම් හදනවා.

කොණ්ඩේ තෙල් ගාලා මසාජ් කරනවා

මගේ කොණ්ඩේ දණහිස ළඟට දිග තිබුණා ඉස්සර. දැන් තියෙනවා වගේ තුන් ගුණයක් කොණ්ඩේ තිබුණා.
දැනටමත් අම්මා මගේ ඔළුවට හොඳට තෙල් දාලා මසාජ් කරනවා. මම මනමාලියන්ට එහෙම අඳින්නේ නැත්තේ හුඟක්ම කොණ්ඩේ සවුත්තු වෙන නිසා. මම කලර් එකක්වත් කරන්නේ නෑ.

නියපොතුවලට සතියට වරක් සත්කාර

නිය පොතු ලස්සනට තියා ගන්න සතියට වරක් මෙනික්‍යු, පෙඩික්‍යු කරනවා. වේදිකා නාට්‍යවල නිතර රඟපාන නිසා නියපොතු කලර් කරන්නේ නෑ. කොහොමත් මම ගමනක් යද්දී කලර් කරනවා ඇරෙන්න නියපොතු කලර් කරන්නේ නෑ. මට නියපොතු සැහැල්ලුවෙන් පිරිසුදුව තිබුණාම ඇති.
සුදු වෙන්න බෙහෙත් බොන්නේ නෑ

මම සුදු වෙන්න නම් ආස නෑ. අපේ ඇඟේ තියෙන ස්වාභාවික සුදු පැහැය ඇරුණාම තම්බපු ඉස්සා වගේ සුදු වෙන්න නම් ආසම නෑ. නමුත් මම සම ගැන හිතනවා. ඒ නිසාම සැර බෙහෙත් වර්ග බොන්නෙත් නෑ. ඒ වගේම සප්ලිමන්ට් වර්ග බොන්නෙත් නෑ.

තනියම මේක් අප් කරන්න පුළුවන්

මට හොඳට මේක් අප් කරන්න පුළුවන්. සාමාන්‍ය ගමන්වලදී මම තනියම මේක් අප් දාගන්නවා. මගේ සමහර යාළුවොත් උත්සවවලට යද්දී මට කියලා මේක් අප් දාගන්න එනවා. ඒ වෙලාවට අම්මා සාරිය අන්දනවා. ෆොටෝ ෂූට්වලදී වෙනත් උත්සවවලදී නම් මට මේක් අප් දාගන්න සැලුන් තුනක් තියෙනවා. ඒ අයගෙන් එක්කෙනකුට කියලා මේක් අප් දානවා.

බෑග් එකේ නැති දෙයක් නෑ

සාමාන්‍ය ගමනකට නම් මම ඩෙනිම් එකක් ඇඳලා ටී ෂර්ට් අඳිනවා. ඒත් සාරිවලටත් මම පුදුම ආසයි. මට හිත යන සාරියක් තිබුණොත් මම අඳිනවා. ඒ වගේම මෙටීරියල් අරගෙන මම ඩිසයින් කරන වෙලාවල් තියෙනවා. ඉන්දියන් ආභරණ දාන්නත් ආසයි. හැබැයි මම දාන්නෙම අඩිය උස සපත්තු විතරයි. බෑග් නම් මට ලොකුම ඒවා ඕන. මොකද මට බඩු වැඩියි. මගේ බෑග් එකේ නැති දෙයක් නෑ. ප්‍රථමාධාර ද්‍රව්‍ය පවා තියෙනවා.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරු හැඩ වෙන හැටි - රශිපබා සංදීපනී"

    Post a Comment