13 January, 2017

මහින්ද හිතුවට අමතකයි කියලා මිනිසුන්ට හැමදේම මතකයි

duminda-nagamuwa-2017-01-13

ආණ්ඩුව අවුරුදු දෙකේ සංවත්සරය සමරමින් කේක් කන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ජනතාවට ලබාදුන් පොරොන්දු කීතු කීතු කර බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව වසර දෙකක් තිස්සේ ආර්ථික සංවර්ධනය ගැන කියවනවා. ඒත් මේ ආණ්ඩුව කරන්න හදන්නේ රට කෑලිවලට කඩලා ඉන්දියාවටයි, චීනෙටයි, ඇමෙරිකාවටයි බදු දීලා ඒකෙන් ලැබෙන තුට්ටු දෙකෙන් රට ගෙනයෑම බවද ඒ මහතා අවධාරණය කෙළේය.

ඔහු මේ බව සඳහන් කෙළේ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති එම පක්ෂයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීය.

මෙය අනිවාර්යයෙන්ම යුද දේශපාලන අරමුණකින් කරන ආයෝජනයක්. හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව කියනවා මෙවැනි සංවර්ධනයක් අපිට එපා කියලා. අපි අහනවා ජනතාව එපා කියන සංවර්ධනය ඇයි බලෙන් දෙන්න හදන්නෙ කියලා.

ගිය 7 වැනිදා සිදු වූ සිදුවීමටත් හමුදාව, පොලිසිය පමණක් නෙවෙයි මැරයන් ගෙන්නලා හම්බන්තොට ජනතාවට පහර දෙන්න සැලැස්සුවා. ආණ්ඩුවේ කොන්ත්‍රාත් මැරයන්ව තමයි මේ ආණ්ඩුව ළඟින් තියාගෙන ඉන්නේ.

පරණ ආණ්ඩුවයි, මේ ආණ්ඩුවයි අතර තියෙන වෙනස මොකක්ද කියලා අපි අහනවා.

මහින්ද මහත්තයා මතක් කරගන්න ඕන ඒ අය ආණ්ඩු කරන කාලයේත් මේ වගේම මර්දනයන් සිදු කළ බව. දැන් ඔවුන් මේ ආණ්ඩුව විවේචනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කිරීම විහිළුවක්.

ජනතා විමුක්ති පෙරමුණත් පළාත් පාලන ඡන්දය පසුබිම කරගනිමින් දැන් ආණ්ඩුවට විරුද්ධව කතා කරනවා.
අපි අහනවා ඔවුන්ගෙනුත් අවුරුදු දෙකක් තිස්සේ මොනවද කළේ කියලා. මේ ආණ්ඩුව බලයට ගේන්න ජවිපෙ සියලු දෙනා උදවු කළා.

මහින්ද මහත්තයා හිතනවා මිනිසුන්ට ඉතිහාසේ මතක නැහැ කියලා. ජවිපෙත් එහෙම හිතනවා. නමුත් මිනිසුන්ට අතීතෙ හොඳට මතකයි. මේ අය ජනතාවට සලකපු හැටි වගේම දුන්න පොරොන්දු කඩ කළ හැටි ඔවුන්ට අමතක නැහැ.

මේ සියල්ලට විරුද්ධව ජනතාව පෙළගැසිය යුතුයි.

ඉෂාරා සිල්වා_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහින්ද හිතුවට අමතකයි කියලා මිනිසුන්ට හැමදේම මතකයි "

    Post a Comment