13 January, 2017

බීමත් පොලිස් නිලධාරියකු වයසක අම්මා යටකරගෙන ගිහින් මව මරුට, පුතාට බරපතළයි

සාදයක් හමාර වී බීමතින් ත්‍රිරෝද රථය පැදවූ පොලිස් කොස්තාපල්වරයකු සිදු කළ රිය අනතුරකින් 63 හැවිරිදි මවක් මියගොස් ඇයගේ 21 හැවිරිදි පුත්‍රයා බරපතළ තුවාල ලබා පෙරේදා (11දා) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 

අනතුර සිදුකළ පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිටි බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර පසුව ඔහු කිරිඇල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

වාර්තා වන අන්දමට මේ සාදය පැවැත්වී තිබෙන්නේ පොලිස් මිතුරන් අතරය.

ඔහුද අනතුරෙන් තුවාල ලබා කිරිඇල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි. 

ඇල්ලගම ශ්‍රී සනාරාම විහාරස්ථානය අසලදී පෙරේදා (11දා) සිදුවූ මේ අනතුරෙන් බී.ඩී. කුසුමා පද්මිණි (63) මියගොස් ඇති අතර ඇයගේ පුතා වන පී.ඒ. අරවින්ද රවි ප්‍රභාත් (21) හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ මහ රෝහලට මාරුකර යවා ඇත. 

සිද්ධිය සිදුවූ මොහොතේම එම ස්ථානයට වැඩම කළ ඇල්ලගම ශ්‍රී සනාරාම විහාරාධිපති කැටවල ධර්මප්‍රිය හිමියන් 'මව්බිම'ට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, 

"අධික බීමතින් ත්‍රිරෝද රථය පදවාගෙන ආ පුද්ගලයා කිරිඇල්ල පොලිසියේ රාජකාරි කරන අයෙක් බව හඳුනාත්තා. 

මාර්ගය අයිනේ ගමන් කළ අහිංසක දෙන්නෙක් මේ අනතුරට පත්වුණේ. නීතිය ආරක්ෂා කරන පොලිසියේ අය විසින් කරන මේවා හෙළා දැකිය යුතුයි. 

ඒ මොහොතේම විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉහළ පොලිස් නිලධාරීන්ටත් පැමිණිලි කළා" යනුවෙනි.

කිරිඇල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් බණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර පරීක්ෂණය සිදුකරනු ලබන අතර මියගිය අයගේ මරණ පරීක්ෂණ ඊයේ (12දා) හොරණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

drunken-policeman-accident-ellagama

කිරිඇල්ල - පී.ඩී. පී. ලියනගේ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බීමත් පොලිස් නිලධාරියකු වයසක අම්මා යටකරගෙන ගිහින් මව මරුට, පුතාට බරපතළයි "

    Post a Comment