13 January, 2017

කපුවා ආරූඪයෙන් පෙවූ දියරය විසවී දෙදරු මව මරුට

mother-of-two-children-die-at-dummalasooriya-after-treatments-of-matchmaker

දේවාලයක කපුවකු විසින් කාන්තාවකට පෙවූ යම් දියරයක්‌ විෂ වී එම දේවාරූඪයට සහභාගිවූ කාන්තාවක පෙරේදා ( (11 දා) රාත්‍රියේ මිය යැමේ පුවතක්‌ දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

වැලිපැන්නගහමුල්ල පාලියගාර වැව අසල පිහිටි දේවාලයකදී ඉකුත් 11 වැනිදා රාත්‍රියේ එසේ දියරයක්‌ පානය හේතුවෙන් මියගොස්‌ තිබුණේ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි ඉශාරා උමයංගනී ප්‍රනාන්දු නමැති 38 හැවිරිදි දෙදරු මවකි. ඇය සැමියාගෙන් වෙන්වී සිටි අයකි. 

තමන්ට මතුව ඇති අපල හා වෙනත් අයෙකු විසින් කළ බව කියන දෝෂ සහිත තත්ත්වයක්‌ සඳහා පිළිසරණක්‌ ලබා ගැනීමට අදාළ කාන්තාව සිය ඥාති නැගණියකද සමඟ දේවාලයට පැමිණ තිබේ. 

දේවාලයේ කට්‌ටඬියා විසින් ඇය ආවේෂකොට අවසිහියෙන් යම් දියරක්‌ පානය කිරීමට ලබාදී ඇති අතර එය පානයෙන් පසුව ඇය දැඩි අපහසුතාවට පත්ව සිටි බව මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

සැකකාර කපුවා දුම්මලසූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය වූ ස්‌ථානයට (12 වැනිදා) පෙරවරුවේ ගිය කුලියාපිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් නිහාල් ජයසිංහ මහතා විසින් මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදුකළ අතර මෘත දේහය තැන්පත්කර තිබූ දුනකදෙණිය රෝහලට ගොස්‌ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකොට ඥාතීන්ට භාරකිරීමට නියම කරන ලදී.

දුම්මලසූරිය පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කපිල සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් කුලියාපිටිය පොලිස්‌ අපරාධ ස්‌ථානීය පරීක්‍ෂක කණ්‌ඩායමද, උප පොලිස්‌ පරීක්‍ෂක රංජින් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ද විසින් මූලික පරීක්‍ෂණ සිදුකොට තිබිණි.

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ_දිවයින

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කපුවා ආරූඪයෙන් පෙවූ දියරය විසවී දෙදරු මව මරුට"

    Post a Comment